දරුවන්ට කන්න දෙන්න නොහැකිව පියා දිවි නහගෙන

දරුවන් බඩගින්නේ තියන්න බැරි වේදනාව නිසා සියදිවි හානිකරගත් මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

දින තුනක සිට සිය නිවසේ කෑම සඳහා කිසිවක් නොතිබුණ බවත් කෑම සොයා ඒම සඳහා සිය සැමියා එළියට ගිය බවත් ඒ අතර තුර කාලයේ ගෙදර තිබුණ පුටු දෙකක් විකුණා දරුවන්ට කන්නට දුන් බවත් මෙම සියදිවි හානිකරගත් පුද්ගලයාගේ බිරිඳ මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර ඇත.

තෙබුවන සහ නෑබඩ ප්‍රදේශවල පදිංචිව සිටි දෙමළ ජාතික යුවලක් වන මෙම මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මීට ටික කාලයකට ප්‍රථම වැලිපැන්න ප්‍රදේශයට රැකියාවක් සොයා පැමිණ ඇත. කුලී වැඩකර දිවිගැටගහගත්ත මේ දෙදෙනාට අවුරුදු 12ට අඩු දරුවන් 4 දෙනෙක් සිටින අතර ස්ථිර පදිංචියක් නොමැති නිසා ඔවුන් පාසල් නොයන බව පුවත්පත වාර්තා කරයි. මොවුන් තාවකාලිකව පදිංචිව සිටි කුලී නිවසට මසකට රුපියල් 3500ක් ගෙවිය යුතු බවත් පසුගිය කාලයේම කුලී වැඩ නොලැබුණ බවත්, මෙම තත්ත්වය නිසා සිත් තැවුලෙන් සැමියා සියදිවි හානි කරගන්නට ඇති බවත් මරණ පරීක්ෂණයේදී මෙම කාන්තාව ප්‍රකාශ කර ඇත.

අහස උසට බඩු මිල උස ගිහිං තිබෙන මේ කාලයේ සහ කුලී වැඩ වැනි දේවල් හිඟ මේ කාලයේ මෙවැනි දුප්පතුන්ට හිමි දෙය සියදිවි හානි කරගැනීමද? බලධාරීන් කල්පනා කළ යුතුය. මතුගමින් අද වාර්තා වෙන මෙම මරණය වැනි තවත් මරණ හෙට ලංකාවෙ සතර අතින් වාර්තා වෙන්නට පුලුවන් ය. එනිසා මේ ආර්ථික අර්බුදය විසඳීමට බලධාරීන් සිය ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. එය එසේ නැතිනම් කරන්නට පුලුවන් පිරිසකට ආණ්ඩුකරණය භාරකර වර්තමාන ආණ්ඩුව ගෙදර යා යුතුය.

වෙබ් අඩවියක් ලෙස අප සියදිවි හානි කරගැනීම අනුමත කරන්නේ නැත. ප්‍රශ්න හමුවේ උවත් මිනිසුන් ජීවත් විය යුතුය. ඔබට සියදිවි හානිකර ගැනීමට සිතෙනවා නම් 0112682570, 0112674436 මෙම අංකවලට කතාකර ඔබගේ ප්‍රශ්න ශ්‍රී ලංකා සුමිත්‍රියෝ වෙත ඉදිරිපත් කර සහනයක් ලබා ගත හැකිය. ඒ වගේම 1926 ඇමතීම මගින් ද ඔබට නොමිලේ මනෝවිශේෂඥවරුන්ගේ ද සහය ලබාගත හැක.

Social Sharing
නවතම පුවත්