යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?

මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන.

වත්මන් තත්වය

මේ වෙද්දී තත්ත්වය ඉතාම දරුණු අතට හැරෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. එසේ වුවද ඊයේ දින (28) යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් පැවැත් උනා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ 193 දෙනාටම තමන්ගේ අදහස් දැක්වීමට අවස්ථාව හිමි උනා.නමුත් මෙම සැසියේ දී රුසියානු යුක්‍රේන අර්බුදයට පිළියම් සෙවීමට පුළුවන් උනාද කියන එක ඉතාමත් ගැටළුකාරී දෙයක්.මොකද සැසිය පුරාම එකිනෙකා එකිනෙකාට චෝදනාකරගනිමින් තමයි මෙය පවත්වලා තිබෙන්නේ.

එනම් එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා තෝමස් සැසිය ආරම්භයේ දීම පවසා සිටියේ රුසියානුවන් සාමය අනතුරේ හෙළන බව හා ඔවුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ හදවතටම පහර දී කටයුතු කරන බවට සැර ප්‍රකාශයක් කිරීමෙනි.

නමුත් රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිඳු සැලසුමක් නොමැති වූ අතර උමතු එක්සත් ජනපදය විසින් තමයි මෙම ගැටුම උත්සන්න කර ඇත්තේ යනුවෙන් ක්‍රෙම්ලින් රාජ්‍ය තාන්ත්‍රිකයන් තරයේ ප්‍රකාශ කර සිටියා.

එම අවස්ථාවෙන් පසු ඇමරිකානු ගැත්තන් සැසියේ පිස්සන් මෙන් හැසිරුනු බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටියා.

කොහොම නමුත් මෙම සැසියෙන් සටන් විරාමයක් ගැන සාකච්ඡා ඇති වූ අතර නැවත සැසියකින් ඒ පිළිබඳව කතිකා කර ගැනීමට නියෝජිත්යන් එකඟ වෙලා තිබෙනවා. එපමණක් නෙවෙයි  රුසියාව සහ යුක්‍රේනය යන දෙරටටම උපදේශන සේවාවක් වහාම ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කටයුතු කරලා තිබෙනවා.

නමුත් රුසියාව ඔවූන්ගේ න්‍යෂ්ටික හමුදා සීරුවෙන් තබාගෙන මාන බලමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි රුසියාව ඇතුලේ යුද්ධයක් එපා කියලා විරෝධතා නගන 2000ක් අත් අඩංගුවට අරගෙන තිබෙනවා.

යුක්‍රේන ජනපති පවසන්නේ ගෙවුණු පැය 24 එරටට ඉතාම තීරණාත්මක කාළ පරිච්ඡේදයක් උනා කියලා. එමෙන්ම එරට සෞඛ්‍ය අංශ පවසන ආකාරයට ළමුන් 14ක් සහ සිවිල් වැසියන් 352 ක් මේ වන විට මියගොස් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර වලින් යුක්‍රේන වැසියන් මිලියන 7ක් අවතැන් වෙලා සිටිනවා.

ඒ වගේම මේ වන විට දෙරටේම සොල්දාදුවන් 5000ක පමණ පිරිසක් ජීවත්ක්ෂයට පත් වෙලා සිටින බවයි වාර්තා වල සඳහන් වෙන්නේ.

මේ වෙද්දී යුක්‍රේනයේ ආයාචනයකින් තුර්කිය කළු මුහුද හරහා යන රුසියානු යුද නැව් නවත්වලා තිබෙනවා. මේ අයුරින් තුර්කිය රුසියානු නැව් වලට වාරණ පැනවීම තුර්කියත් මෙම අර්බුදයට මුල පිරීමක් වෙන්න පුළුවනි. කෙසේනමුත් යුක්‍රේනය අහස දෙබෑ කරගෙන යන මිසයිල වල නම් අඩුවක් පෙනෙන්නට නැහැ.
එනමුත් රුසියාව බලාපොරොත්තු වූ ඉක්මන් ජයග්‍රහණය යුක්‍රේනුවන් විසින් ලබා නොදීමත් ඔවුන් පසුබැස නොයා රුසියාවට එරෙහිව පහර එල්ල කිරීම තරමක් රුසියාව අර්බුදකාරී තත්වයකට ඇද දමන බව ගැටුම් විශ්ලේෂකයෝ පවසනවා
ඒ විතරක් නෙවෙයි රුසියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක නිසා ඔවුන් විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. යුරෝපා සංගමය මගින් රුසියාව පාලනය කිරීමට සම්බාධක පැනවීම තුළින් වෙන්නේ 3 වන ලෝක යුද්ධයකට එරට සූදානම් කිරීමක් ලෙසයි සමාජ විශේෂඥයන් පෙන්වා දෙන්නේ. අද උදෑසන වන විට ඔලිම්පික් කමිටුවත් රුසියාව සාමාජිකත්වයෙන් ඉවත් කරා. ඒ වගේම අනෙක් රටවල් රුසියාව සංකේතවත් කරන යම්කිසි දෙයක් සිඳුකරොත් ඒ රටවල් ද ඉවත් කරන බවට ඔවුන් සඳන් කළා.

 

යුද්ධය සහ ශ්‍රී ලංකාව

කෙසේ නමුත් මෙම යුක්‍රේන රුසියා අර්බුදය අද වන විට ලෝක අර්බුදයකට පෙරළී තිබෙනවා. මේ ලෝක අර්බුදය ඇතුලේ විශේෂයෙන්ම පහරක් එල්ල වෙනවා අපේ රටේ ආර්ථිකයට. වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය, වසංගත තත්ත්වය සහ ඩොලර් සංචිත නොමැති වීම නිසා අපි දැඩි අහේනියකට පත් වෙලා සිටින්නේ, මේ යුක්‍රේන රුසියා ගැටුම අපිව තවත් පහතට දානවා. විශ්ලේෂකයෝ පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ තේ අපනයනයට, සංචාරක කර්මාන්තයට මෙන්ම බොරතෙල් හිඟ වීමට යුක්‍රේන් රුසියා අර්බුදය බලපානවා.

බොරතෙල් හිඟය

රුසියාව ලෝකයේ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා. මේ ගැටුම එක්ක ඔවුන් බොර තෙල් මිල ඉහළ දමා තිබෙනවා. නුදුරේදීම එය ඩොලර් 115 දක්වා ඉහළ යනු ඇතැයි විශ්ලේෂකයෝ ප්‍රකාශ කරනවා. එවිට ලංකාව තෙල් මිළ දී ගන්නේ කෙසේ ද යන්න කියන එක විශාල ගැටලුවක්.

බොරතෙල් මිල වැඩිවීම එක්ක යුරෝපීය වෙළඳ මාර්ග වල සැපයුම් දාම කඩාකප්පල් වීම නිසා භාණ්ඩ ප්‍රවාහන ගාස්තු මත ඉහළ පීඩනයක් ඇතිවෙනු ඇතැයි ආර්ථික විශෙශ්ඥයන් පවසනවා. එසේ වුනොත් අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමේ දී විශාල වියදමක් දැරීමට සිඳුවෙනවා. බොහෝ විට එක වේලකට යන වියදම තරු පංතියේ හෝටලයක රැයක් ගත කිරීමට යන වියදමට සමාන වෙන්න පුළුවනි.

තේ කර්මාන්තයට මොකක් වෙයි ද ??

රුසියාව කියන්නේ ශ්‍රී ලංකාවේ තේ ආනයනය කරන විශාලතම රටයි. එනම් අපගේ මුළු ඩොලර් බිලියන 1.3 අපනයනයෙන් ඩොලර් මිලියන 140ක් රුසියාවට අයිතියි. මෙම අර්බුදය එක්ක ඇමරිකාව රුසියාවට පනවන ඕනෑම සම්බාධකයක් ලංකාවේ තේ අපනයන ආදායමට බලපානවා. එහි දි රුසියානු මුදල් අගය අවප්‍රමාණය වීම ලාංකික තේ ආනයනය අඩු කරනවා.

සංචාරක කර්මාන්තයේ කඩා වැටීම

මෙම වසරේ ශ්‍රී ලංකාවේ පශ්චත් කොවිඩ් 19 කාල වකවානුව තුල සංචාරක ව්‍යාපාරය නඟා සිටුවන්න රුසියාව සහ යුක්‍රේනය යන දෙරටේම විදේශිකයන් උපකාර වී ඇති බව රජයේ නිල දත්ත පෙන්වා දෙනවා. 2022 වසරේ පෙබරවාරි 11 තෙක් ලංකාවට පැමිණි සංචාරකයන්ගෙන් 15.8%ක් රුසියානු ජාතිකයන්, 8.7%ක් යුක්‍රේන ජාතිකයන්. මේ අර්බුදය එක්ක දේශීය ආර්ථිකය දැඩි අහේනියකට ගමන් කිරීම නිසා සංචාරකයන් ද මෙරටට පැමිණීමට ප්‍රථම දෙවතාවක් හිතනවා. මේනිසා සංචාරක කර්මාන්තයේ ඉඳිරි ගමන අවිනිශ්චිත තත්ත්වයකට පත්වනවා. මේ නිසා අපේක්ෂා කෙරූ ඩොලර් සංචිත උපයා ගැනීමට පවා නොහැකි වෙනවා.

අපේ සහය කාට ද?

මේ තත්ත්වය යටතේ තම රටට යාමට නොහැකි වූ යුක්‍රේන් ජාතිකයන්ට නොමිලේ ඉඳුම් හිටුම් ලබා දෙන්න සංචාරක නිකේතන අයිතිකරුවන් කටයුතුකර තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය වීම දක්නට ලැබුනා. ඒ වගේම දිවයිනේ තැනින් තැන යුද්ධයට තිත තබන ලෙස ඉල්ලමින් සාමකාමී උද්ගෝෂණ ද දැකගත හැකි උනා. කෙසේ වුණත් ලංකාව මෙම මිලිටරි ගැටුමේ පැත්තක් නොගන්නා බවට විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ මාධ්‍යට වාර්තාකර තිබෙනවා. ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ සෑම කෙනෙකුටම තමන්ගේ හේතු තිබෙන බැවින් කිසිම අයෙකුගේ පැත්තක් ගෙන කටයුතු කරන්නේ නැත කියලා.

ගැටුමේ ඉතිහාසය

යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමගින්. මෙමෙ ගැටුම් මර්ධනය කිරීමට ගොස් තවත් උත්සන්න වීමේන් පසුව ජනපති යනුකොවිච් 2014 පෙබරවාරියේ රටින් පළා ගියා.

පසුව එම වසරේම රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ක්‍රිමියානු ප්‍රදේශය පාලනය කිරීමට පටන්ගත් අතර ජනමත විචාරණයක දී ක්‍රිමියානුවන් රුසියානු සමූහාණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දුන්නා. එවිට අර්ධද්වීපය විධිමත් ලෙස ඈඳා ගැනීමට පෙර රුසියානු ජනපති වැලඩ්මීර් පුටින් විසින් ගිණිකොනදිග යුක්‍රේනයේ රුසියානු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කළා. මේ නිසා එය යුක්‍රේනයේ වාර්ගික බෙදීම් උග්‍ර කළ අතර නැගෙනහිර ප්‍රදේශයේ රුසියානු හිතවාදීන් යුක්‍රේනයෙන් නිදහස ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වුණා.

ඒ අනුව 2014 සිට නැගෙනහිර යුක්‍රේනය සහ යුක්‍රේනය අතර බෙදුම්වාදී ගැටුම් ආරම්භ වුණා. පසුව එය එම වසරේම ජූලි මාසයේ දී ජ්‍යාත්‍යන්තර අර්බුදයක් දක්වා වර්ධනය වූ අතර  2015 වර්ෂයේ දී මින්ස්ක් ගිවිසුම හරහා රුසියානු යුක්‍රේන ගැටුම් නැවැත්වීමට උත්සහ දරා තිබුණා. කෙසේවෙතත් එම උත්සහය සාර්ථක උනේ නැහැ. පසුව 2017 වසරේ දී ඇමරිකා එක්සත් ජනපදය යුධ ටැංකි බළකායන් දෙකක් යුක්ක්‍රේනය වෙත එකතු  කිරීමත් සමඟ මේ සංග්‍රාමයට ඔවුන් ද අවතීර්න වුණා.

ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය තුල ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමඟ නැගෙනගිර යුක්‍රේනය නිදහස් කරන ලෙස රුසියාවට දිගින් දිගටම බලපෑම් එල්ල වුණා. පසුව 2018 වසරේ දී රුසියානු නිලධාරීන් ගණනාවකට එක්සත් ජනපදය විසින් සම්බාදක පැනවුණා. එපමණක් නොව රුසියාව දිගින් දිගටම යුක්‍රේනයට එරෙහි සයිබර් ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. එයින් යුක්‍රේනය විශාල කඩාවැටීමකට ලක් වුණා. පසුව එක්සත් ජනපදය මැදිහත්ව එරට සයිබර් අවකාශය වඩාත් ආරක්ෂාකාරී ලෙස සැකසුවා.

කෙසේ නමුත් මෙසේ වසර 07ක මඳ සීතල යුද්ධයකින් පසුව දෙරටම අද ලෝක ගැටුමක් දක්වා වර්ධනය වී තිබෙනවා.

 

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්