43 සේනාංකය සහ එහි ප්‍රකාශනය: – ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන

පසුගියදා 43 සේනාංකය මගින් එළි දක්වන ලද ‘බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු, ගොඩ නගමු’ නම් වූ ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා විසින් කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය වෙත සම්පාදනය කරන ලද ලිපිය ආශ්‍රයෙන් කළ දළ පරිවර්තනයකි.

 

ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් මෙහෙයවන 43 සේනාංකය පසුගියදා ආර්ථිකය සම්බන්ධයෙන් කඩිනමින් ගතයුතු මග පිළිබඳ තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීය. SL VLOG හි අභිෂේකා ප්‍රනාන්දුට ලබා දුන් සවිස්තරාත්මක සම්මුඛ සාකච්ඡාවක් සමඟින් එය කියවිය යුත්තේ එය කලින් ඉදිරිපත් කළ දේ පිළිබඳ විවරණයක් වන බැවිනි.
අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ව්‍යසනකාරී ආර්ථික අර්බුදය හමුවේ 43 සේනාංකය ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ජනතාව ඇමතීමට තෝරා ගැනීම කාලෝචිතය. ආණ්ඩුවේ පක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ තවමත් එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කර නැත. එබැවින්, 43 සේනාංකය විසින් නිකුත් කරන ලද Rescue and Thrive නම් ප්‍රතිපත්ති ලේඛනය පූර්වගාමියා වන අතර අනෙකුත් දේශපාලන ව්‍යාපාර එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
1943 කන්නන්ගර විප්ලවය තවමත් වර්ධනය වෙමින් පවතී.
43 සේනාංකයේ වෙබ් අඩවියට අනුව, ඔවුන් සමන්විත වන්නේ නොමිලේ අධ්‍යාපනය ලෙස වැරදි ලෙස උපුටා දක්වා තිබෙන ‘පෞද්ගලිකව නොගෙවන අධ්‍යාපනය’ නම් වූ 1943 කන්නන්ගර විප්ලවයෙන් බිහිව පෝෂණය වූ ශ්‍රී ලාංකිකයන්ගෙන් වන අතර  ඊට පෙර, ලංකාවේ අධ්‍යාපනය තෝරාගත් ප්‍රභූ පන්තියකට සීමා වූ සුවිශේෂී වරප්‍රසාදයක් විය. කන්නන්ගර විප්ලවය නව යුගයකට අඩිතාලම දැමූ අතර එය 1956 දී සිදු වූ තවත් විප්ලවයකින් ඉදිරියට ගෙන ගියේය. 1960 ගණන්වල සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ ආචාර්ය බදියුද්දීන් මහමුද්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් ශක්තිමත් විය.
කන්නන්ගර විප්ලවය යටතේ ආරම්භ කරන ලද මධ්‍ය මහා විද්‍යාල පද්ධතියට අතිරේකව දිවයින පුරා මහා විද්‍යාල පිහිටුවීම තුළින් අධ්‍යාපනය සැබවින් ම රට තුළ ස්ථාපිත වූ අතර දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට හැකි විය. විවිධ සමාජ ස්ථරවලින් සහ විවිධ දුර බැහැර පළාත්වලින් පැමිණෙන මෙම තරුණ බුද්ධිමතුන්ට සමාජ සංචලතාව ලෙස හඳුන්වන සමාජ ඉනිමඟේ ඉහළටම නැගීමට හැකි විය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ තවත් විප්ලවයක් ලෙස 1977 න් පසු කන්නන්ගර විප්ලවයේ මුල් දර්ශනය වෙත ආපසු යමින් ඉංග්‍රීසි මාධ්‍ය සම අධ්‍යාපන මාධ්‍යයක් ලෙස හඳුන්වා දීමට ජේ.ආර්.ජයවර්ධන පාලනය තීරණය කිරීම හැඳින්විය හැකිය.
මෙලෙස කන්නන්ගර විප්ලවය යනු ක්‍රියාවලියක් වන අතර එය තවමත් විකාශනය වෙමින් පවතී. දැනට 43 සේනාංකයට සම්බන්ධ පුද්ගලයන් කන්නන්ගර විප්ලවයේ මුල් නිෂ්පාදන නොවේ; ඔවුන් සිරිමාවෝ බණ්ඩාරනායක විප්ලවයේ පවා නිෂ්පාදනයක්  නොවේ. ඔවුන් සියල්ලම J.R. ජයවර්ධන විප්ලවයෙන් බිහිව පෝෂණය වූ නිෂ්පාදන වන අතර අවම වශයෙන් භාෂා දෙකකින් වැඩ කිරීමේ හැකියාවෙන් ආශීර්වාද ලත් නිෂ්පාදන වේ. ශ්‍රී ලංකාවේ පරිපාලන යාන්ත්‍රණයේ ඉහළ පෙළ බොහෝ දුරට ඔවුන්ගෙන් සමන්විත වේ. නමුත් ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ සිටින පුද්ගලයන් ගැන නම් එසේ කිව නොහැක. එහෙයින් 43 සේනාංකයේ අරමුණ වී ඇත්තේ රට පාලනය කිරීමේ යෂ්ටිය, පිටත සිටින, භාවිතයට නොගත් හෝ අඩුවෙන් භාවිත කළ, තම දායකත්වය ලබාදීමට අවස්ථාවක් බලාපොරොත්තුවෙන් සිටින කන්නන්ගර දරුවන්ට භාරදීමයි. එය වඩාත් ඉදිරිගාමී, ප්‍රගතිශීලී සහ ගතික නිර්භීත උත්සාහයකි.
ආර්ථිකයේ භයංකර තත්ත්වය
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට අතිශය භයානක තත්ත්වයක පවතී. සියලුම සාර්ව ආර්ථික සලකුනු පෙන්නුම් කරන්නේ ආර්ථිකය තවදුරටත් ගොඩ එමින් පවතින රෝගියෙකු ලෙස නොව ගිලන්ව පණ අදින තත්ත්වයක පවතින බවයි. මෙයට අර්ධ වශයෙන් අතීත පාලකයන්ගේ ක්‍රියාකාරම් ද තවත් කොටසක් ගෝඨාභය රාජපක්ෂ පාලනයේ ඉහළම ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ප්‍රශ්න ඵලදායි හා කාලෝචිත ලෙස විසඳීමට අසමත් වීම ද හේතු වී තිබේ. අයවැය ක්‍රමය අපැහැදිලි සහගත වද්දී ආදායම් මාර්ග විශාල ලෙස කපා හැරීම හේතුවෙන් එය තවත් භයානක අඩියකට ඇද වැටී තිබේ.
සෑම වසරකම රු. බිලියන 500 කට ආසන්න හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%- 4% ක පමණ මුදලක් රාජ්‍ය ආදායමට අහිමි වෙමින් පවතී. මේ මුදල් පියවා ගැනීම සඳහා භාවිතා කළේ බැංකුවලින් සිදුකරන ණය ගැනීම් මගිනි. මින් මුදල් තොගය රුපියල් ට්‍රිලියන 3කින් හෝ 39%කින් ලෙස වැඩි වීමකට හේතු වේ. මහ බැංකුව එය අනුගමනය කරන්නේ සම්ප්‍රදායික මුදල් න්‍යාය නොව මෙම සාම්ප්‍රදායික නොවන MMT ය.
MMT භාවිතයේ ප්‍රතිඵල
මෙම ප්‍රතිපත්ති මූල්‍ය උද්ධමනයට හෝ මුදල් අවප්‍රමාණයට බලපාන්නේ නැති බව සමහර නායකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විට මෙය වඩාත් පැහැදිලි විය. නමුත් ප්‍රතිඵලය බලාපොරොත්තු වූ පරිදිම විය. විදේශ සංචිත 2019 අවසානයේ ඩොලර් බිලියන 7 සිට 2021 නොවැම්බර් අවසානයේ ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටුණි. දෙසැම්බර් මාසය වන විට smart accounting ක්‍රම හරහා, ඩොලර් බිලියන 3.1 ක් ලෙස සංචිත පෙන්නුම් කරන ලද්දේ, චීන යුවාන් වලින් කරන ලද SWAP පහසුකමකින් ලැබෙන ආදායම ඩොලර් බිලියන 1.6 ක් පමණ විදේශ විනිමය සංචිතවලට එකතු කර දැක්වීමෙනි. එහෙත් ඔවුනට අමතක වූ කාරණයක් වූයේ මහ බැංකුවේ සහ වාණිජ බැංකුවල විදේශ විනිමය වත්කම්වල සෘණාත්මක තත්ත්වය තියුණු ලෙස ඉහළ යාමයි.
නවතම මහ බැංකු දත්ත වලට අනුව, 2021 නොවැම්බර් අවසානයේ, මහ බැංකුවේ ශුද්ධ විදේශ විනිමය වත්කම් ඩොලර් බිලියන 1.6 ක් ලෙස සෘණාත්මක විය; දෙසැම්බර් වන විට, දළ වත්කම් ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි වුවද, ශුද්ධ වත්කම්වල සෘණ තත්ත්වය ඩොලර් බිලියන 1.9 දක්වා වැඩි වී ඇත. මෙයින් අදහස් කරන්නේ බැංකුවට එහි විදේශ වගකීම් වත්කම්වලට වඩා වේගයෙන් ඉහළ යන නිසා එහි දළ වත්කම් වැඩි කිරීම ගැන ආඩම්බර විය නොහැකි බවයි.
ඩොලර් වලින් ලාභදායී black market එකක් නිර්මාණය කිරීම
මහ බැංකුවක විදේශ වත්කම් අහිමි වූ විට වෙළෙඳපොළට මැදිහත් වී මුදල් ඒකකය ස්ථාවර මට්ටමක තබා ගැනීමේ හැකියාව හීන වේ. 2021 මුල සිටම මහ බැංකුවට සිදුවූයේ මෙයයි. වෙළඳපොලේ වර්ධනය වන ඩොලර් හිඟය මහ බැංකුවට පියවා ගැනීමට නොහැකි වූ විට, විධිමත් බැංකු පද්ධතියෙන් පිටත ඩොලරයට රු. 250 ක් වන ලාභදායි black market එකක්  පැන නැගිණ. විදේශ සංචිත නොමැතිකම නිසා ශ්‍රී ලංකාවට සිය විදේශ ණය ගෙවීමේ ගැටලු ද නිර්මාණය වී ඇති අතර ශ්‍රේණිගත කිරීමේ ආයතන එකිනෙකා සමඟ තරඟකාරී ලෙස ශ්‍රී ලංකාව පහත හෙළීමට පෙළඹී තිබේ. මහ බැංකුව තවමත් සිය නවතම විදේශ සංචිත තත්ත්වය ප්‍රකාශයට පත් කර නොමැති අතර, පුද්ගලික චින්තන ටැංකියක් (the private think tank) වන Pathfinder පදනම විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් පෙන්නුම් කරන්නේ රටේ භාවිතා කළ හැකි සංචිත මේ වන විට ඩොලර් බිලියන 1 ට වඩා පහත වැටී ඇති බවයි. මෙය ඉදිරි මාස 12 තුළ ඩොලර් බිලියන 8.7ක් පමණ වන ශ්‍රී ලංකාවේ විදේශ ණය බැඳීම් සමඟ සැසඳීමට නියමිතය. කල් පිරීමේදී ශ්‍රී ලංකාවට මෙම ණය ආපසු නිකුත් කිරීමට නොහැකි වුවහොත්, නිසැකවම ශ්‍රී ලංකාව කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුමක් අවශ්‍ය වන ගැඹුරු අගාධයකට වැටීමට නියමිතය.
අගාධයකට වැටුණු ආර්ථිකය ගොඩගැනීම
43 සේනාංකය තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ‘බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු ගොඩනගමු’ යන මැයෙන් නිකුත් කර ඇත්තේ මේ පසුබිම තුළයි. ගෝඨාභය පාලනයේ මෙහෙයුම්වලට සාපේක්ෂව ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුම් මොනවාද? ආණ්ඩුවට අවශ්‍ය වන්නේ මිත්‍ර රටවලින් සහ මිත්‍ර මහ බැංකුවලින් කුඩා මාත්‍රාවලින් තාවකාලික පහසුකම් ලබාගෙන ආර්ථිකය නිවැරදි කිරීමට ය. එය හරියට ගැඹුරු කෘෂි ළිඳකට වැටුණු අලියකු ගොන් කරත්තයක ගැට ගසා ගොඩ ගැනීමට තැත් කිරීම වැනිය. එය අකාර්යක්ෂම වනවා පමණක් නොව ස්ථීර විසඳුමක් හඳුන්වා දීම සඳහා ශ්‍රී ලංකාවට වටිනා කාලය අහිමි කිරීමට ද හේතු වේ.
මෙම පසුබිම තුළ 43 සේනාංකය විසින් කරුණු 5කින් යුත් ගලවා ගැනීමේ පැකේජයක් හදිසි අවශ්‍යතාවයක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජනා කරයි. පළමුවැන්න ආදායම් වැඩි කර වියදම් කප්පාදු කරමින් අයවැය සකස් කිරීමයි. එහි ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, 2022 සඳහා රජයේ අයවැය සැලැස්ම රු. 1.60 ක් පමණක් උපයන විට වියදම  රු. 5.20 කි. මෙය තරමක් අධි ප්‍රකාශයක් වන්නේ මෙම රු. 5.20 නව ණය නිකුත් කිරීමෙන් පහසුවෙන් ප්‍රතිමූල්‍යකරණය කළ හැකි දේශීය ණය ආපසු ගෙවීම් ද ඇතුළත් වන බැවිනි. කෙසේ වෙතත්, අයවැය අවදානම් තත්ත්වයක නොමැති බව එයින් අදහස් නොවේ.
වත්මන් රජය විසින් පිරිනමනු ලබන අධික බදු සහන අවලංගු කර, කලින් ඉලක්ක කරගත් පරිදි ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14% දක්වා ඉහළ නංවා අයවැය පීඩනයෙන් මිදීමට 43 සේනාංකය යෝජනා කරයි. එය තිත්ත ඖෂධයක් වුවද පවතින තත්ත්වය තුළ වෙනත් විකල්පයක් නොමැති බව චම්පික; අභිෂේකා ප්‍රනාන්දු සමඟ කළ සාකච්ඡාවකදී පවසයි. මෙය සාධාරණය, මන්ද වත්මන් උපායමාර්ගය අනුව අයවැය සඳහා මුදල් යෙදවීමට උත්සාහ කරන්නේ ජනතාව විවෘතව බදු ගෙවීමෙන් නොව උද්ධමනය වැඩි කිරීමේ ක්‍රම මගිනි.
43 සේනාංකය IMF සහාය ලබා ගනීවිද?
දෙවන ගලවා ගැනීමේ උපාය මාර්ගය තරඟකාරීත්වය ප්‍රවර්ධනය කිරීම, වෙළඳපල විරෝධී රෙගුලාසි ඉවත් කිරීම, දූෂණයට එරෙහිව කටයුතු කිරීම සහ වෙළඳපල දියුණු වීමට උපකාර කිරීම මගින් වෙළඳපල විශ්වාසය ගොඩනැගීම අරමුණු කරයි. තෙවැන්න ගංජා වගා කිරීම සහ කාබනික ගොවිතැන වැනි ආන්තික වැඩිදියුණු කිරීම්වලින් නොව ඉහළ තාක්ෂණය භාවිතා කරන නවෝත්පාදන පදනම් කරගත් නිෂ්පාදන ක්‍රම මගින් රෝගී ආර්ථිකය පණ ගැන්වීමයි. ඒ සඳහා වත්මන් පරිපාලනයෙන් ප්‍රමුඛත්වය නොලැබුණු තාක්ෂණ නගර සංකල්පය යළි පණ ගැන්වීමට යෝජනා කෙරේ. සිව්වන උපාය මාර්ගය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් සඳහා වහාම යාමෙන් විදේශ විනිමය පිටතට ගලායාම වැළැක්වීමයි.
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විස්තර දක්වා නැතත්, චම්පික; අභිෂේකා ප්‍රනාන්දු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඒ ගැන විස්තර කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ව්‍යුහය සහ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් ආයතනයක සේවය ලබා ගත යුතු බව ඔහු පැවසීය. පස්වන උපාය මාර්ගය වන්නේ රටේ රජය, පාලන පද්ධතිය සහ ආයතනික ව්‍යූහය යලි ප්‍රජාතන්ත්‍රවාදී කිරීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමයි. ශ්‍රී ලංකාව පලායෑමට නොව ඉන්න හිතෙන රටක් බවට පත්කිරීමට බලාපොරොත්තු වේ. 43 සේනාංක ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කර ඇති දියුණුව සඳහා පදනම ද එය වී ඇත.
දැවෙන ගැටළු පැහැදිලි කිරීම
සමෘද්ධිමත් වීමට අඩිතාලම දැමීමට පෙර, 43 සේනාංකය ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ කනස්සල්ලට පත්වන දැවෙන ප්‍රශ්න කිහිපයක් පැහැදිලි කිරීමට යම් කාලයක් ගත කර ඇත. දැනට යෝජනා කරන සංවෘත ආර්ථික ක්‍රමයට වඩා විවෘත ආර්ථික ක්‍රමය ඉදිරියට ගෙන යා යුතු බව එහි සඳහන් වේ. පැරණි සෝවියට් සංගමයේ හෝ කියුබාවේ සිදු වූවාක් මෙන් ආර්ථිකයට හානි නොවන පරිදි රාජ්‍ය මැදිහත්වීම ප්‍රවේශමෙන් කළ යුතුය. පුද්ගලික අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම වුවද, සම්පත් වැරදි ලෙස බෙදා හැරීම වැළැක්වීම සඳහා එය නිසි ලෙස නියාමනය කළ යුතුය.
ආර්ථික සුබසාධනය සුදුස්සන්ට ලබාදිය යුතුය. සාම්ප්‍රදායික නිෂ්පාදන ක්‍රම උපයෝගී කර ගන්නා නිදහස් වෙළඳ කලාපවලට යනවා වෙනුවට අධි තාක්ෂණික කලාප වඩාත් වැදගත් ය. වටිනා විදේශ විනිමය ප්‍රේෂණ සඳහා අඩු පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයන් මත යැපීම වෙනුවට, ශ්‍රී ලංකාවේ සිටියදී තම සේවා විදේශිකයන්ට විකිණීම සඳහා වෘත්තිකයන් පොළඹවා ගැනීම ප්‍රයෝජනවත් වේ. අල්ලස හා දූෂණය ආර්ථික දියුණුවට බාධාවක් ලෙස හඳුනාගෙන සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බව එහි සඳහන් වේ.
සංස්කෘතිය සහ ආගම සංවර්ධනයට බාධාවක් ලෙස සලකනවා වෙනුවට සංවර්ධන ප්‍රයත්නයන් වැඩිදියුණු කිරීම සඳහා සුදුසු ලෙස භාවිතා කළ යුතුය. විද්‍යාව හා තාක්‍ෂණය බටහිර සම්භවය හෝ පෙරදිග සම්භවය වේවා ආර්ථික දියුණුවේ කුළුණු විය යුතුය. ගලවා ගැනීමේ උපායමාර්ගයන් හි සඳහන් කර ඇති පරිදි, සංවර්ධනයේ අවසාන උපාය මාර්ගය ලෙස ශ්‍රී ලංකාව නැවත ප්‍රජාතන්ත්‍රීකරණය කළ යුතුය.
යෝජිත උපාය මාර්ග සියල්ලන් විසින් අනුමත කරන පොදු උපාය මාර්ග වේ
ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසාන කොටස වෙන් කර ඇත්තේ පලා යාමට වඩා ජීවත් වීමට සුදුසු නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා වූ පුළුල් පරාසයක ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමට ය. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන අවශ්‍යතා, ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති ගැටලු, ආර්ථිකය සහ කෘෂිකාර්මික, තිරසාර සහ මානව සංවර්ධන උපාය මාර්ග ආවරණය කරයි. මේවා සෑම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකම ඡන්දදායකයින් දිනවීම සඳහා ඉදිරිපත් කරන පොදු උපාය මාර්ග වේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨා ඡන්ද දායකයින් වෙත ඉදිරිපත් කළ ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ ද එවැනිම ප්‍රතිපත්ති  අඩංගු විය. නමුත් මැතිවරණයෙන් පසු ඒවා නොසලකා හරිමින් හෝ සංශෝධන සහිතව ක්‍රියාත්මක කර තිබුණි. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කාබනික ගොවිතැනට පරිවර්තනය කිරීම වසර 10ක් පුරා ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබුණි. එහෙත්, ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියේදී, එය එක රැයකින් රටේ සමස්ත කෘෂිකාර්මික අංශයට සැලකිය යුතු හානියක් සිදු කරන ලදී.
එබැවින් 43 සේනාංකය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය මෙම දුර්වලතාවයට පත් නොවිය යුතුය. එය වළක්වා ගැනීම සඳහා, දැන් අවශ්‍ය වන්නේ වසර 10ක කාල සීමාවක් තුළ අත්කර ගත යුතු ප්‍රධාන සන්ධිස්ථාන සමඟ සවිස්තරාත්මක කාලානුරූපී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමයි. එවැනි ක්‍රියාකාරී සැලසුම් නොමැතිව ශ්‍රී ලංකාවේ අතීතයේ සැලසුම් කිරීම කඩදාසිවලට පමණක් සීමා විය. 1959 දස අවුරුදු සැලැස්ම සහ 1971 පස් අවුරුදු සැලැස්ම හොඳම උදාහරණ දෙකකි.
කාලානුරූපී ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍යයි.
මෙම ක්‍රියාකාරී සැලැස්ම මහජනතාවට හෙළි කළ යුතු නැත. එය අභ්‍යන්තර ලේඛනයක් ලෙස තබා ගත හැකි අතර, නැගී එන දේශීය මෙන්ම ගෝලීය වර්ධනයන් අනුව නිතර යාවත්කාලීන කර සංශෝධනය කෙරේ. ප්‍රධාන සැලැස්ම යටතේ සෑම ක්‍රියාවකටම අරමුදල් අවශ්‍යතා සහ මූලාශ්‍ර මගින් සහය ලබාදිය යුතු අතර, එය ඉක්මන් දැනුම්දීමකින් ක්‍රියාත්මක කළ හැක. එහි ප්‍රධාන තේමාව කුමක් විය යුතුද? චම්පික අභිෂේකා ප්‍රනාන්දු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඒ පිළිබඳ ඉඟි කිහිපයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ අනාගතය තරුණ පරපුර සතු බවත්, ශ්‍රී ලංකාව සංවර්ධනයේ මීළඟ අදියර කරා ගෙන යාමට අවශ්‍ය තාක්‍ෂණික දැනුමෙන් හා කුසලතාවයෙන් තරුණ පරපුර සන්නද්ධ කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම ඔහු ප්‍රකාශ කළේ ගෝලීය නිෂ්පාදන බෙදාගැනීමේ ජාලයට ශ්‍රී ලංකාවට සම්බන්ධ වීමට තරුණ තරුණියන් සහය වෙමින් රටේ සංවර්ධන ප්‍රයත්නයන්ට සහභාගී විය යුතු බවයි. මෙහි තේරුම නම්, මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුන විය යුත්තේ, Industry 4.0 යන සංකේත නාමයෙන් හැඳින්වෙන, හතරවන කාර්මික විප්ලවයට බාධාවකින් තොරව ඇතුල් වීමයි. තවමත් දෙවන කාර්මික විප්ලවයේ හෝ කර්මාන්ත 2.0 හි සිටින රටක් වන, ශ්‍රී ලංකාව 3 මඟ හැර 2 සිට 4 දක්වා පැනීම අවශ්‍ය වේ.
මේ සම්බන්ධයෙන්, 2030 වන විට Industry  4.0 තත්ත්වය ලබා ගැනීම සඳහා සවිස්තරාත්මක මාර්ග සිතියමක් 2019 දී හඳුන්වා දුන් වියට්නාමයෙන් 43 සේනාංකයට වටිනා පාඩමක් ගත හැකිය. මෙය සරල කාර්යයක් නොව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ගත යුතු පියවරකි. කෙසේ වෙතත්, වළක්වා ගත යුතු දෙයක් ද තිබේ. සැලැස්ම ක්‍රියාත්මක වන විට, ලෝකය පස්වන කාර්මික විප්ලවය එනම්; Industry 5.0 වෙත ගොස් තිබිය හැක. එබැවින්, Industry  5.0 වෙත ඉක්මන් පරිවර්තනයක් සිදු කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්ම තුළම ප්‍රමාණවත් ඉඩක් ලබා දිය යුතුය.
පරිවර්තනය : උදාර විලත්ගමුව

 

Social Sharing
නවතම පුවත්