මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙසේ අභාවප්‍රාප්ත විය. ඇගේ වෛද්‍යවරයා පැවසු වේ ශරීරයේ අවයව අකර්මණ්‍ය වීමෙන් ඇය මියගිය බවයි.

ලතා මංගේෂ්කාර් 1929 සැප්තැම්බර් 28 වන දින මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ උපත ලැබීය. ඇය, නාට්‍ය කලාවේ නියෙලී සිටි ඇගේ පියා වන දීනානාත් මංගේෂ්කාර්ගෙන් වයස අවුරුදු පහේදී සංගීතය ඉගෙනීමට පටන් ගත්තාය. ඇගේ පියාගේ අභාවයෙන් පසු, පවුල මුම්බායි වෙත සංක්‍රමණය වූ අතර එහිදී යෟවන සමයේ සිටි මංගේෂ්කාර් මරාති චිත්‍රපට සඳහා ගායනා කිරීමට පටන් ගත්තේය. ඇය තම පවුල නඩත්තු කිරීම සඳහා චිත්‍රපට කිහිපයක කුඩා චරිතවල ද රඟපෑ නමුත් ඇගේ හදවත බැදුනේ ගායනයටම පමණි.

මරණය වැළඳගත්, අමරණීය හඬ ඇති බොලිවුඩයේ නයිටිංගේල්

1949 දී ඇයට ‘මහල්’ චිත්‍රපටය සඳහා වූ ‘ආයේගා ආනේවාලා’ නම් ගීතය ගායනා කිරීමට අවස්තාව උදාවිය. එත් සමග බොලිවුඩයේ සෑම නිළියකටම ඇගේ හඬ අවශ්‍ය විය. මේ නිසා ඇය නිතරම කාර්යබහුල වූ අතර අගේ හඬ සමග ගණුදෙනු කිරීමට සංගීත අධ්‍යක්ෂවරුන් පොර කෑවේය. ඊළඟ දශක කිහිපය තුළ, මංගේෂ්කාර් පරම්පරා ගණනාවක් පුරා බොලිවුඩයේ ප්‍රකට නිළියන්ගේ දෙතොල් මත මිමිණූ ගීත දහස් ගණනක් ගායනා කළාය.

ඇය 1940 සිට 1990 දක්වා බොලිවුඩයේ සෑම කාන්තා තරුවක් සඳහාම ගායනා කළ අතර රාජ් කපූර් සහ ගුරු දත්ගේ සිට මනි රත්නම් සහ කරන් ජොහාර් දක්වා සියලුම ප්‍රමුඛ බොලිවුඩ් අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කළාය. ඇය 1999 දී ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට නම් කරන ලද අතර ඇය එය භාර ගැනීමට අකමැත්තෙන් සිටි බව පැවසුවත්, තම ධුර කාලය සතුටින් ගත කළ බව පසුව පැවසුවාය.

ඇය 2001 දී සිවිල් වැසියන් සඳහා ඉන්දියාවේ ඉහළම ගෞරවය වන භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබුවාය. විවහ වීමට උනන්දුවක් නොදැක් වූ ගීත කෝකිලාවිය, ක්‍රිකට් ක්‍රීඩාවට හා මෝටර් රථ සඳහා දැඩි උනන්දුවක් දැක්විය. එමෙන්ම ඇගේ බාල සොහොයුරිය ආශා බෝස්ලේ ද බොලිවුඩයේ ජනප්‍රිය ගායිකාවකි. ඔවුන් දෙදෙනා එදිරිවාදිකම් පිළිබඳ ඉඟි ඉවත දමා, ඉඳහිට එක්ව ගායනයට පවා කටයුතු කළහ.

ලතා මංගේෂ්කාර් භාෂා 36ක් හරහා ගීත 30,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් අඩ සියවසකට වැඩි කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයකට හිමිකම් කීවාය. නමුත් ඇය ජාතික සංඛේතයක් බවට පත්කළේ ඉන්දියාවේ හින්දි චිත්‍රපට කර්මාන්තයයි.

අභ්‍යාවප්‍රාප්ත ලතා මංගේෂ්කාර්ට ගෞරවයක් ලෙස ඉන්දීය රජය ඉරිදා සිට දින දෙකක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ රට පුරා ජාතික ධජය අඩකුඹු කරනු ලැබේ. එමෙන්ම ඇය වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වෙනු ඇත. ඇගේ අභාවය පිළිබඳ වාර්තා වීමත් සමඟම ඉන්දීය ජනයා මහත් කම්පනයට පත් වු අතර එරට අගමැති නරේන්ද්‍ර මෝදි පවසා සිටියේ ‘මංගේෂ්කාර්ගේ අභාවය’ “ජාතියේ පිරවිය නොහැකි හිස්බවක්” ඇති කළ බවයි. තවද ඇගේ අභාවය සම්බන්ධයෙන් බොලිවුඩ් තරු රැසක් ද සිය ශෝකය ප්‍රකාශ කළහ.

latha mangeshkar


මේ ප්‍රතාපවත් හඬ පෞර්ෂය ලාංකීය සිනමාවට ද අගේ හඬ ලබා දුන්නාය. ඒ ‘සැඩ සුළං’ චිත්‍රපටයේ “හෙළදිව පුරාතනය” ගීතයටයි. එම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය සහ ගී පද රචනය කර තිබෙන්නේ ආනන්ද සමරකෝන් ශූරීන් විසිනි. සැඩ සුළං චිත්‍රපටය වෙනුවෙන් ගීතය ගායනා කිරීමෙන් පසු ලතා මංගේෂ්කාර් තමන්ට ලැබුණු මුළු මුදලම ආනන්ද සමරකෝන් ශූරීන් වෙත පරිත්‍යාග කර ඇති බව ද කියවේ.

latha mangeshkar

latha mangeshkar

හේෂානි කරුණාරත්න

Social Sharing
නවතම විදෙස්