මට වඩා රැඩිකල් වෙන්න ! බේලා තාර්

bela tarr documentary film

(විශ්‍රාම සුවයෙන් පසු වන කීර්තිමත් හන්ගේරියානු චිත්‍රප‍ට අධ්‍යක්ෂකවරයෙක් හා සමීප වීම)

සම්භාවනීය හන්ගේරියානු සිනම‍ාවේදී ‍බේලා තාර්, වසර 2011 දී මිනිත්තු 146 ක් පුරා දිවෙන, රූප ඛණ්ඩ තිහකින් යුත්  The Turin Horse නම් චිත්‍රප‍ටය අධ්‍යක්ෂණය කිරීමෙන් අනතුරුව සිය සක්‍රිය  සිනමා දිවියට සමු දුන්නේය. ඒ වයස  අවුරුදු පනස් හයේදීය. ඔහු සිනමාවට දායාද කළ වෘත්තාන්ත චිත්‍රපට නවය හේතුවෙන් ඔහුට සෙ‍ස්සන් අතර පුරාවෘත්තයක්, විශාරදයෙක්, ඇදහීමක් හෝ පරිකල්පනයෙන් අනාගතය දකින්නෙක්  වැනි විශේෂණ නාම රැසකට උරුමකම් කීමට මෙන්ම  ලෝක සිනමාව තුළ පුජනීයත්වයෙන් පුදනු ලබන දැවැන්තයින් හා සම වීමට ද  ඔහුට අවකාශ ලැබුණි.

bela tarr documentary film bela tarr documentary film bela tarr documentary film bela tarr documentary film

තාර්, චිත්‍රපට රූගත කිරීම් ආරම්භ කලේ ආධුනිකයෙකු ලෙස  වයස අවුරුදු දාසයෙදීය. ඔහුට වයස අවුරුදු විසිදෙක වන විට, බේලා ‍බලාස් චිත්‍රාගාරයෙදී වෘත්තාන්ත චිත්‍රපටයකට සමාන කාලයක් දිග හැරෙන Family Nest (1979) නම් සිනමාපටය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය රූගත කිරීම් නිම කොට තිබුණේය. බේලා තාර් නම් සිනමාකරුවාගේ වෘත්තීය ජීවිතයේ මුල් අවධිය Family Nest සහ The Out sider(1981)  යන සිනමා නිර්මාණ හරහා  මැනවින් සළකුණු වි තිබුනු  අතර ඉන්පසු  1982 දී නිර්මාණය කරන ලද The Prefab People චිත්‍රපටය අරුත් ගැන්වුනේ සමාජ විෂයයන් සහ තාත්වික සිනමාව (Cinema verite) වෙත නැඹුරු වුණු වාර්තාමය චිත්‍රපට ශෛලිය ඇසුරු කොට ගනිමිනි. කෙසේ වෙතත්, විශේෂයෙන්ම Damnaiton (1988), cinephiliac 432-minute long treat Sátántangó (1994) සහ Werckmeister Harmonies (2000), වැනි සිනමා කෘති තුළින් ද පැහැදිලි වන පරිදි ඔහුගේ නිර්මාණ වල හරය වන්නේ ඔහුගේ අසාහය සෞන්දර්යයවේදයත්, පශ්චාද් කොමියුනිස්ට් සැකැස්මේ අසතුටුදායක  දැක්මත්ය.

අනෙක් සිනමාකරුවන් ගෙන් කැපි පෙනුන ඔහ‍ුටම ආවේණික ශෛලිය, සුදු කළු, දිගු රූප ඛණ්ඩ ලෙස රූගත කෙරෙන මන බඳින  දසුන්  තුළින් පැන නැඟි  අතර ඉතා සුපරික්ෂාකරි ලෙස පෙළ ගස්වන ලද කැමරා චලන දුක්මුසු, කර්කෂ සහ ගූඨ චිත්තමය රූපාවලියක් ‍ඔස්සේ දිවැවීම නිසා තාර් රැඩිකල් සිනමාකරුවෙක් ලෙස ද හඳුන්වනු ලැබිණ. මයිකල් ගු‍වනෙරි විසින් සම්පාදනය කරන ලද, Fade to Black, Béla Tarr, the Anti-Mystic නම් ලිපියේ  තාර් ගේ නිර්මාණ පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත.

‍බේලා තාර් විසින්  මෑතකදී උත්සවාකාරයෙන් ආරම්භ කළ The International Film Festival Trenčianske Teplice, අභිනව ස්ලෝවැකියානු  සිනමා උළෙළහිදී යුරෝපියානු සිනමා දායකත්වය සඳහා පිරිනැමෙන රන් කැමරා සම්මානය ගෞරවණීය ලෙස පිරිනැමුනේ බේලා තාර්ටමය.

‘සියළු සිනමාකරු‍‍වෝ මත් ලෝලියෝ’ය. සක්‍රිය චිත්‍රපට නිර්මාණකරණයෙන් ඈත්ව, සිනමාව තුළ නව හැකියාවන් මතු කරගන්නා ආකාරය ඉගැන්විමට සිය කාලය මිඩංගු කිරීම ද ප‍සෙක තිබියදී,  ඔහු යහපත් මනෝභාවයෙන් සිටින විට එසේ කීවේය.

ස්ලෝවේකියාවේ උණු දිය උල්පත් නගරයකදි තාර් ගේ වෘත්තීමය දිවියත් ඔහුගේ විවිධ මතයනුත් පිළිබඳ සැකවින් සාකච්ඡා කාරීමට MUBI  ට අවස්ථාව උදා විය.

-කොහොමද විශ්‍රාමික ජීවිතය ගත වෙන්නේ?

බේලා තාර් : ඔබ දන්නවද, ඇත්තටම මම දන්නේ නැහැ ඒක කොහොමද ගතවෙන්නෙ කියලාවත්, මොකද මම සිනමා පාසල නිසා හොඳටම කාර්ය බහුල වෙලා.

-සරයේවෝ වල

තාර් : ඔව්

-ක්‍රොයේෂියාවේ පටන් ගන්න හිතන් හිටපු එකට මොකද වෙන්නේ?

තාර් : නැහැ නැහැ.. මේ ඇති. මට දැනටමත් ලෝකෝ හැම මුල්ලකින්ම ශිෂ්‍යයෝ 35 ක් ඉන්නවා, වෙනස් හේතු 35ක්,  වෙනස් ආකාරයේ පරිකල්පනයකන් 35ක්. මට තියෙනවා ඒ ගොල්ලන්ව බලා කියා ගන්න.

-ඒක බරපතල වගකීමක්.

තාර් :  ඒක ඇත්ත. ඒ නිසා  තමයි ඔබට මගේ විශ්‍රාමික ජීවිතය ගැන විමසන්න අවශ්‍ය වෙන්නෙ නැත්තෙ.

-ඔබ එහි උගන්වන්නෙ ඔබගේ ප්‍රධාන කැමරා ශිල්පී ෆ්‍රෙඩ් කැලැමන් සමඟ ද?

තාර් : සමහර විට මම ඔහුට ආරාධනා කරනවා වැඩමුළු මෙහෙයවන්න. ඒ වගේම මම ගොඩාක් අයට ආරාධනා කරනවා උගන්වන්න, මේ ලෝක‍ෙ පුරා ඉන්න…..

-විශේෂයෙන් කිව්වොත් කවුද? ඔබගේ සමකාලීනයෝද?

තාර් : අපිශාපොන් වීරසේතුකුල්, කාර්ලෝස් රේගාදාස්, ගයි මැඩින්, පෙද්‍රෝ කෝස්තා, ගස්වැන් සෑන්ට්, එඩ් ලාක්මන් වැනි තවත් බොහෝ අය.

-ඔබ ඔවුන් උසස් සිනමාකරුවන් ලෙස පිළිගන්නවාද?

තාර් :  ඔව්. ඔවුන් හොඳම සිනමාකරුවන් තමයි.  මම නරක ගණයේ සිනමාකරුවන්ට ආරාධනා කරන්න කැමති  නැහැ.  ඔබට නිවසක් තිබේ නම්, ඔබ කිසිවෙකුට එහි එන්න යැයි ආරාධනා කරන්නේ නම්, එම පුද්ගලයාට එසේ ආරාධනා කරන්න පැහැදිලි හේතුවක් තියෙන්න ඕනෙ.

-ඔබ නිදහස් මත දරන සිනමාකරුවෙක්. ඒ වගේම ඔබ‍ගේ රැඩිකල් අදහස් නිසා ඔබ හන්ගේරියාවෙ සිටි කාලයේදි විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුනා. ඔබගේ සිනමා පාසලේදීත් ඔබ මෙවැනි ප්‍රවේශයක් සඳහා පෙළඹවීමක් කරනවද?

තාර් : මට ගැටළු වලට මුහුණ දෙන්න සිදුවුනා කීමෙන් ඔබ අදහස් කළේ කුමක්ද?

-මම අදහස් කළේ කොමියුනිස්ට් පාලන කාලයේ  ඔබගේ දේශපාන දෘෂ්ටීන්  හේතුවෙන් ආණ්ඩුවට ඔබ‍ගේ චිත්‍රපටය සඳහා මුදල් ආධාර ලබා දීමට උවමනාවක් තිබුණේ නැහැ වැනි කාරණා….

තාර් : ඔව්. ඒත් මට හැම තිස්සේම කරදර සිද්ධ වුනා. මම ඒවට හුරු වෙලා ඉන්නෙ.

-ඒත් ඔබට කොමියුනිස්ට්වාදින් එක්ක ආරවුල් තිබුනා..?

තාර් : කොමියුනිස්ට්වාදින් එක්ක විතරක්  නෙමෙයි… මට ප්‍රශ්න තිබුණා…

-ධනවාදීන් එක්කත්?

තාර් : ඔව්.  ඔබ දන්නවා, මම වැඩුනේ  කොමියුනිස්ට් පාලනයක් යටතේ. ඒ  කාලේ කියන්නේ දේශපාලනයට වාරණ තිබුණ යුගයක්, ඊට පස්සේ වෙළඳ පළට වාරණ ඇති වුණා, දැන් නැවතත් දේශපාලනයට වාරණ වැටිලා. මට දැනෙන්නේ අපි මේක මීට පෙර අත් දැක්කා නේද වැනි හැඟීමක්.

-ඔබගේ සිනමා පාසලේදි නව හැකියාවන් සම්බන්ධයෙන් ඔබ ගන්නා ප්‍රවේශය  කුමක් ද?

තාර් : ඔබ සතුව 35ක් දෙනෙක් සිටිනවා නම්, ඔවුන්ට ඇත්තේ එකිනෙකට හාත්පසින් ම වෙනස් ඉතිහාස නම් ඔවුන්ගේ දැක්ම සහ  යථාර්තයන් ද එකිනෙකට වෙනස්.  අපිට එහි ඉන්නවා ෂින්තෝ දහම අදහන අය, ‍ හින්දූන්, බෞද්ධයින්, මුස්ලිම්වරුන් වගේ විවිධ  ආගම් වලට අයත් වුවන්.  කොහොමද ඔබ කියන්නේ ‘මේක තමයි අධ්‍යාපනය’ කියලා.   කොහොමද මම කියන්නේ ‘ මේක තමයි හරි දිශාව කියලා?’ හැමකෙනාම එකිනෙකාට වෙනස්. ඉතින් අපිට සොයන්න වෙනවා සෑම කෙනෙක් සඳහාම යතුරක්. පුද්ගලිකව එය සොයා ගැනිම, එය තමයි ම‍ගේ  කාර්යය. ඒ නිසා තමයි එය එතරම් දුෂ්කර. අප තුළ ඇති සහකම්පනය උපරිමයෙන් අවශ්‍ය වෙනවා එය සොයා ගැනීම සඳහා.

-වර්තමානයේ තරුණ සිනමා කරුවන් මුහුණ දෙන බරපතලම අභියෝග මොනවාද?

තාර් : ඔවුනට සිද්ධ වෙනවා ජීවිතය දිගහැරෙන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න. එච්චරයි. ඇත්තමට ඔවුන් තමන් ගැන විශ්වාසය තැබිය යුතුයි, එවිට ඔවුන්ට ජීවිතය තේරුම් යාවි.

-ඔබ වර්තමාන සිනමාව ඇසුරු කරනවද?

තාර් : මම එහි දකින්න‍ෙ විශාල අවුල් සහගත තත්වයක්. වෙළඳපළ විසින් පටවන සුවිශාල බලාපොරොත්තු නිසා ඔවුන් තමන්ව ම සොයා යන්නේ නැහැ, ඇත්තටම ඔවුන්ට පෞද්ගලිකව තියෙන අරමුණු ඊට වඩා වෙනස් ඇති. දැන් මට  තේරෙන්නෙ එයයි, තරුණ සිනමාකරුවන් ප්‍රමාණවත් තරම් නිර්භීත නැහැ. ඔවුන් නිර්භීත විය යුතුයි වගේම වෙන කිසිම අපේක්ෂාවක් පිළිබඳ තැකීමක් නොකළ යුතුයි, මන්ද අපේක්ෂාවන් වියැකී යනවා, ඒත් චිත්‍රපට පවතිනවා.

-ඔබගේ රැකවරණයේ සිටින ලස්ලෝ ‍නෙමෙස්….

තාර් : ඔහු මගේ සහායකයා…

-ඔහු හැදුවා මහත් සේ ජනප්‍රසාදයට පත් චිත්‍රපටයක් Son of Saul. මට ඔබගේ පැරණි මිත්‍රයෙක් වන ලාස්ලෝ රෙයික් මුණ ගැහුණ  ‍මොහොතක ඔහු එම චිත්‍රපටය හැඳින්වූයේ, “නව සිනමා භාෂාවක ආරම්භක ලක්ෂ්‍ය” ලෙසයි. ඔබ මෙයට එකඟ ද?

තාර් : මට චිත්‍රපටය තාම බලන්න ලැබුණේ නැහැ. මම කාර්ය බහුල වෙලා සිටියේ. අපි එකිනෙකාට අපව මඟ ඇරැණා. මම හංගේරියාවට එද්දි ඔහු විදේශ ගතවෙලා. ඔහු එද්දි මම නැහැ. නමුත් පෞද්ගලික දර්ශන වාරයක් ඔහු මට ලබා දේවි. ජූනි ම‍ාසේ වෙද්දි මම එය නරඹනවා.

-ඔබගේ නිර්මාණ ගැන කතා කරද්දි, ඔබ නිතරම කතා කරන්නේ බහු වචන‍යෙන්..

තාර් : ඔබ දන්නවා බේලා තාර් කියද්දි, ඉන් හැඳින්වෙන්නෙ මම විතරක් නෙ‍මෙයි කියලා.  ඉන් ඇඟවෙන්නේ මුලින්ම  Ágnes Hranitzky, László Krasznahorkai, Mihály Vig සහ අවසානයට මම. මේ සිව් දෙනා වසර තිහක් තිස්සේ එකට වැඩ කරනවා. ඒ නිසයි මම බහුවචනයෙන් පිළිතුරු දෙන්න කැමති.  මම කවදාවත් කියලා නෑ මේ එකක් වත් මගේ චිත්‍රපට කියලා, මොකද ඒ ඇත්ත නොවන නිසා.

-කොහොමද නිර්මාණ ක්‍රියාවලිය සිදු වුනේ? කාර්යයන්  ඔබලා අතර බෙදා ගත්තද නැත්නම් සෑම කාර්යයක්ම

සාමුහික ප්‍රයත්නයක් ද ?

තාර් : ඇත්තටම  හැම තිස්සෙම වාගේ අවසන්  තීරණය ගත්තෙ මම, ඒත් මහත් වු තික්ෂණ බුද්ධියක් ඔවුන් සතුව තියෙනවා.  කෙසේ වෙතත් අපි ජීවිතය, විවිධ තත්වයන් හෝ වෙන ඕනෑම දෙයක් පිළිබඳ කතාබහ කරන විට ඔවුනට තිබුණෙ එක සමාන දැක්මක්.  සැබවින්ම  මිහයිලි  සංගීතඥයෙක්, ලාස්ලෝ ලේඛකයෙක්. අපිට වෙනස් භාෂාවක් තිබුණට අපි එකට එක් ව හිතුවෙ චිත්‍රපටයක් ගැන නොවෙයි, ජිවිතය ගැන.

-ඔබ සිනමාරූපණය සම්බන්ධයෙන් නිතරම ප්‍රශංසාවට ලක් වෙනවා. කැම‍රා චලන සහ සිනමාරූපණය ගැට ගැසෙන සෞන්දර්යය සම්බන්ධයෙන් වගකීම පැවරුණේ කාටද?

තාර් : ඒ සියල්ලම මගේ තීරණ. හැම වේලාවෙම.

-මම හිතන්නෙ ඔබ පෙර දර්ශන සැලැස්මක් යොදා ගන්නේ නැහැ කියලා.

තාර් : නැහැ. ඒක හරිම මෝඩ වැඩක්. ඔබ  කිසියම් අවකාශයක  සිටින විට, ඔබට ඕනෑ තරම් හැකියාව තියෙනවා හිතන්න. එවිට ඔබට පුළුවන් මොනවද අත්හරින්නෙ කියලා තීරණය කරන්න.

-ඒ කියන්නෙ ඔබ දර්ශන තලයේදි පර්යේෂණ කරනවා, විවිධ රූප ඛණ්ඩ ලබා ගනිමින්…

තාර් : නැහැ. නැහැ. මම හැමදේම තීරණය කරන්නේ රූගත කිරීමට කළින්. රූගත කිරීම ආරම්භ වුනායින් පස්සේ, මම චිත්‍රපටයේ පළමු රූප රාමුවේ සිට අවසන් රූප රාමුව දක්වා දන්නවා.

-ඔබගේ වෘත්තීය ඔබ ආරම්භ කලේ දේශපාලනික සහ සාමාජීයය කාරණා  ඉස්මතු කෙරෙන වාර්තා චිත්‍රපට වලින්?

තාර් : අපි කියමුකො ඔව් කියලා…

-නමුත් අවසන් වුනේ, පාරභෞතික ගණයේ ලා සැලකෙන චිත්‍රපට නිර්මාණයෙන්, මේ වෙනස් වීම සිදුවුණෙ කොහොමද?

තාර් : එය සිදු වුණේ පියවරෙන් පියවර. ඔබ ඒවා නැරඹුවේ නම් එය ඔබට තේරෙනවා, මම ප්‍රශ්න තේරුම් ගන්න සෙමෙන් ගැඹුරින් ගැඹුරට ගිය සැටි.

-නමුත් ඒවා තවමත් දේශපාලනිකයි, මුල් චිත්‍රපටයේ සිට අන්තිම දක්වාම?

තාර් : මට සමාජය සම්බන්ධයෙන් සංවේදීතාවක් තියෙනවා. ඇත්තටම චිත්‍රපටයකට පුළුවන් දේශපාලන අරුතක් අත්පත් කර ගන්න. ඒත් එය මුළුමනින්ම දේශපාලනික නැහැ. දේශපාලනය කියන්නෙ මම හිතන්නේ එදිනෙදා කරන යමක්, ඒත් මගේ  වැඩ එහෙම නෙමෙයි.

-ඔබ කියනවා නම් ඔබේ චිත්‍රපට දේශපාලනික අරුතක් අත්පත් කරගන්නවා කියලා,   ඔබට අනුව එසේ වන්නේ එය අර්ථ නිරූපණය වන ක්‍රියාවලිය තුළද නැත්නම් එය නිර්මාණයක් ලෙස ඔබේ මනසේ  ගොඩනැඟන විට සහ එය රූගත කරන විටද?

තාර් : මම කිව්වා, මට සමාජය පිළිබඳ සංවේදිතාවක් තියෙනවා. ඒ නිසා මම මිනිසාගේ ‍ගරුත්වය ආරක්ෂා කරනවා. මේක තමයි මගේ අරමුණ. අනිත් කිසිම දෙයක් ගැන මම සැළකිලිමත් වෙන්නෙ නැහැ. මම  කොහෙත්ම වෙන කිසිවෙකුගේ රුචි අරුචි කම් වලට බාධා වන්නේ ද නැත්නම් මම දේශපාලනික ද නැත්නම් වෙන යමක් ද යන්න පිළිබඳ මම එච්චර වද වෙන්නෙ නැහැ. මට හිතෙන දේ මම කියනවා.

-ඔබ කියා තිබෙනවා, ඔබ සහ ලස්ලෝ ක්‍රසනාහෝකයි දරන්නේ  ජීවිතය පිළිබඳ  එක හා සමාන යථාදැක්මක්, ඒ නිසයි ඔබ ඔහුගේ නවකතා චිත්‍රපට සඳහා සුදුසු ලෙස උප‍යෝග කරගත්තෙ කියලා?

තාර් : මම ඔහුගේ නවකතා උපයෝග කර ගත්තේ නැහැ. මම  ඔහුගේ පොත් ගවේෂණය කලා, අනතුරව මම තේරුම් ගත්තා ඔහුගේ දෘෂ්ටිකෝණය, ඉතින් අපි එකිනෙකාව සොයා ගත්තා. ඒවගේම තමයි ලස්ලෝ සමඟ වැඩ කිරිම හරිම පහසුයි.

-ඔබව විස්තර කෙරෙන්නෙ ‘නරුම ගුඪව‍ාදියෙක්’ විදියට. මේ හැඳින්වීමට ඔබ එකඟ ද?

තාර් : විකාරයක්. ඒක කොහෙත්ම මට අදාළ වෙන්නේ නැහැ. මම නරුම නැහැ වගේම කොහෙත්ම ගුඪවාදියෙක් ද නො‍වෙයි.

-තර්කොවුස්කිගේ අන්ද්‍රෙයි රබ්ලෙව් ඔබට නිර්මාණ සඳහා උත්තේජනය සැපයූවක් නේද?

තාර් : මම අන්ද්‍රෙයි රබ්ලෙව්ට කැමතියි. ඒත් තර්කොවුස්කි ආගමට ළැදි පුද්ගලයෙක්. ඒත් මම එහෙම නෙවි.

-ඔබ අනාගමික සිනමාකරුවෙක්ද?

තාර් : මම සරල අදේවවාදියෙක් පමණයි. මම දෙවියන් විශ්වාස කරන්නෙ නැහැ.  ඒක හරිම සරලයි.

-නරුමවාදී කොටස?

තාර් : නැහැ

The Turin Horse

-ඔබ කීවා ඔබගේ අවසාන චිත්‍රපටය The Turin Horse, ලෝක අවසානය පිළිබඳ කියැවෙන නිර්මාණයක් විය යුතුයි කියලා.

‍තාර් : ජීවයේ අවසානය. මොකද අපි ලෝක විනාශය පිළිබඳ අනාවැකි ගැන කතා කළත් අපි දන්නවා ඒවා  ඇත්ත නෙමෙයි කියලා. ජීවය ඉතාමත් සෙමින් පියවරෙන් පියවර වියැකී යනවා. එපමණයි.

-ඒත් ඔබ යුදෙව් ජනසංහාරය පිළිබඳවත් චිත්‍රපටයක් කළා.

තාර් : නැහැ

Werckmeister Harmonies.

තාර් : එය යුදෙව් සංහාරය ගැන නෙමෙයි.

-නමුත් ඒ සම්බන්ධයෙන් කිසියම් සඳහනක් තිබුනා.

තාර් :  නැහැ කිසිවක් තිබුනේ නැහැ.  අපි ඒ චිත්‍රපටය නිර්මාණය කරද්දි, අපි විශ්වාස කලේ එය හුදෙක් සුරංගනා කතාවක් වේවි යන්න පමණයි. අවසානයේදි අපිට දකින්න පුළුවන් වෙනවා සියල්ල විනාශ කර දමමින්  මිනිසුන්  ගමන් කරන ආකාරය සහ ජනතාවාදය වර්ධනය වන සැටි. ඒත් දැන් චිත්‍රපටය යථාර්තයක් බවට පත් වෙලා. ඇත්තටම එය මාව සතුටට පත් කරන්නෙ නැහැ.

-නමුත් ප්‍රකට තල්මසුන්‍ගේ දර්ශනයක් තියෙනවා සත්තකින්ම ගුඪවාදී ස්පන්දනයක් ඇති කරන ,ඒ වගේම එය ආගමික පැහැදිලි කිරීමක් තුළින් අර්ථ නිරූපණය කරන්නත් පුළුවන්.

තාර් : පොඩ්ඩක් ඉන්න, මේ මුලු  චිත්‍රපටයෙන්ම  කියැවෙන්නේ ප්‍රධාන චරිත තුනක් ගැන. ඒ තිදෙනාටම අනන්තය සමඟ කිසියම් ආකාර‍යකින් සබඳතාවක් තියෙනවා. වලුස්කාට විශ්වය හා සබඳතාවක් තියෙනවා, ඒස්තර් ට තියෙන්නේ පැහැදිලි කටහඩවල් සමඟ සැබැඳියාවක්. තල්මසා එන්නේ දුර  ඈත සාගරයක  ඉඳන්. ඒ හැම කෙනකුටම අනන්තය හා සැබඳියාවක් තියෙනවා. අපි දැක්කෙ ඔවුන්ගේ දෛනික අභිලාෂයන්ට වඩා ඔවුනගේ දෛනික ජීවිතයේ වෙනත් පැත්තක්, ඒ වගේම මිනිසුන් ගේ නුගුණ.- ඔවුන් කොහොමද මරන්නේ,  මේ මිනිසුන් ව සහ  එහි චරිත වුණු තල්මසුන්ව කෑමට ගන්න‍ෙ කොහොමද..

-ඔබගේ මිත්‍රයකු වන අන්ද්‍රාස් කොවාක්ස් ඔබ සහ ඔබගේ නිර්මාණ පිළිබඳ නිබන්ධනයක් ලීවා [The Cinema of Béla Tarr: The Circle Closes].

තාර් : ඔව් එය ඉතා දීර්ඝයි.  ඔබ දන්නවාද හොඳම පොත කළේ, ජාක් රොන්සියෙර් Béla Tarr, the Time After.

-අපි නැවතත් කොවාක්ස් දෙසට හැරුණොත් ඔහු ලීව්වා, ඔබ චිත්‍රපට නිර්මාණය නතර කළේ, සමකාලීන සිනමාවේ මායිම් තුළ තවදුරටත් ඔබට රැඩිකල් වීමට නොහැකි නිසා කියලා. ඔබේ හැඟීමත් එයමද?

තාර් : මම ඔහුගේ පොත අවසන් වෙනතුරු කියෙව්වෙ නැහැ. ඔහු  දර්ශන ඛණ්ඩවලට ගත ව ඇති  කාලය ග්‍රැෆික චිත්‍ර මාර්ගයෙන් ගණනය කිරීම නිසා මම නොසන්සුන් වුනා. ‘මකබෑවෙයන්’ මම අල්ලලා දැම්මා.  මට වැඩක් නැහැ ඔහු මම ගැන ලිව්වත්, මට අනුව ඒක අමුතු විකාරයක්.

-ඒ කියන්නෙ ඔබ cinemetrics ලෝලියෙක් නෙවෙයි?

තාර් : මට එයට එකඟ නැහැ. එත් ප්‍රධාන කාරණය නම් මම සිනමාකරණයට සහ  සිනමා භාෂාවට කාලය සහ අවකාශය සම්බන්ධකර ගන්නෙ වෙනස් ආකාරයකට. ඊට අමතරව මම රේඛිය සිනමා කලාව ගැන තැකීමක් කරන්නෙ නැහැ.

-ඔහු ප්‍රකාශ කරලා තියෙනවා, ඔබ කිසියම් අදහසක ඉන්නවා කියලා ඔබට තවත් එහාට රුඩිකල් වෙන්න බැහැ කියලා. ඒ ප්‍රකාශය සමඟ ඔබ එකඟ ද?

තාර් : මම වඩාත් රැඩිකල් සිනමාකරුවෙක් තමයි… මගේ ප්‍රශ්නය තමයි.. මම මගේ දරුවන්ට කෑගහලා කියනවා .. එයි..! මට වඩා රැඩිකල්  වෙයල්ලා! කියලා. එවිට සේරම හරි. මේකම තමයි තරුණ සිනමාකරුවන්ටත් මට කියන්න තියෙන්නෙ. “යමල්ලා! මට වඩා රැඩිකල් වෙයල්ලා” “මට වඩා විප්ලවීය වෙයල්ලා”

-රැඩිකල් වෙන්න‍ෙ ආකෘතීය වද නැතිනම් හරයාත්මක වද?

තාර් : හැමදෙයම. හැම‍ දෙයම එකට

-ඔබ‍ගේ අද්විතීය කාව්‍යලංකාරය නිසා ඔබව සලකන්නේ නූතනවාදී සිනමාකරුවෙකු ලෙස‍‍..

තාර් : ඔව් ඔව්. ඔබ දන්නවානේ කොයිතරම් පටබැඳිනාම මට තියෙනවද කියලා. මම පුරාවෘත්තයක්, විශාරදයෙක් වෙලා හිටියා..

-තවමත්

තාර් : ඇත්ත ඇත්ත. ඔබ දන්නවද, මට ඒක අමතක වෙනවා. මම තවමත් ජීවත් වෙනවා. ඒ නිසා තමයි  නම් පටබැඳීම්වලට මම  කැමති නැත්තෙ. මට ඕනෙ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න.

-මම ඔබට කිසිම විදියකින් අපහාස කරන්න සිතු‍වේ නැහැ. මම ඇසුවේ ඔබගේ නිර්මාණ, ඔබගේ ශෛලිය එම කාලයේ සිනමාවට අයත් කොටසක් ලෙස ඔබ දකිනවද?

තාර් : නිව්යෝර්ක් නුවර පවත්වන ලද මගේ පසුගිය ප්‍රත්‍යාවලෝකන වැඩසටහනේදී මා හැඳින්වුයේ ‘ අවසන් නූතනවාදියා’ කියලා. එය ම‍ගේ හිත රිදෙව්වා. කොහොමද එයාලා ‘ අවසන්’ වගේ වචනයක් එහෙම භාවිතා කරන‍න්නෙ? මම දන්නේ නැහැ.

-කවුරුහරි හිතන්න ඇති ඇන්ටෝනියෝනි හෝ ගොඩාර්ඩ් වගේ එකම ප්‍රවර්ගයකට දැමීම බොරු ප්‍රශංසාවක් කියලා

තාර් : ඇත්ත. ඇත්ත.

-ඔබට දාර්ශනිකයෙක් වෙන්න ඕනෙ කලා…..

තාර් : ….. ගොඩාක් කාලෙකට ඉස්සර

-ඔබ චිත්‍රපට තුළ දාර්ශනික අදහස් පළකිරීමක් සිදු කරනවද?

තාර් : මම හැම අතින්ම සිනමාකරුවෙක් පමණයි. සරල සිනමාකරුවෙක්.

-එත් මොකක්ද ඔබ දර්ශනයේ කැමතිම ප්‍රභේදය, ශාඛාව හෝ කාල පරාසය?

තාර් : කිසිත් නැහැ

-නිට්ෂේට පවා කැමති නැතිද? ඔබ ඔහුගේ මානසික ඇද වැටීමට හේතු වුනු සිදුවිම දක්වලා තිබුණා The Turin Horse  චිත්‍රපටය ආරම්භයේදිම.

තාර් : නැහැ.මට දාර්ශනිකයෙක් වෙන්න  ආශාවක් ඇතිවුණේ මම උසස් පාසල් ආධ්‍යාපන හමාර කරමින් සිටි අවධියේ  සහ මම ප්‍රබල වාමාංශිකයෙක් වෙලා සිටියදි. අපි තරුණ රැඩිකල්වාදීන්. අපි කිව්වා කොමියුනිස්ට්වාදීන් බොරු කියනවා කියලා. අපට සිදුවුනා ඔය දර්ශනය කියන දේ අමතක කරලා දාන්න. ඒ ගොඩාක් කාලෙකට ඉස්සර.

-ඔබ ඔබව දකින්නේ නව රැල්ලේ කලා ශිල්පියෙක් විදියට ද?

තාර් : නැහැ. මම මාව දකින්නේ කලා ශිල්පියෙක් විදියට.  සරල සිනමා කරුවෙක්.

Damnation

-ඒ කාලයට ගියොත්,  ඔබට තිබුනා Damnation චිත්‍රපටයට මුදල් යෙදවීමට කෙනෙක් සොයා ගැනීමේ ගැටළුවක්. ඒත් අවසානයේදි ඔබ ම ඒ සඳහා  මුදල් යෙදවුවා.

තාර් : එය ඉතාම දීර්ඝ දේශපාලනික කතාන්දරයක්, ඇත්තටම ඉන් කියැවුනේ කොමියුනිස්ට්වාදයේ අවසන් හුස්ම  ගැන. ඔවුන්ට අප ඝාතනය කරන්න ඕනෑ වුනා. මොකද අපි අලුත් පරම්පරාවේ සිනමාකරු වෝ නිසා. මම පැවති ක්‍රමය තුළින්ම යි නිර්මාණ කරමින් සිටියේ.

-ඔබ කොහොමද මුදල්  සොයා ගත්තේ?

තාර් : චිත්‍රාගාරයේ කැමරා ආම්පන්න තිබුණා, තව සල්ලි ටිකකුත් වගේම මීටර කිහිපයක් දිග සේයා පටලයක් ද අපට තිබුණා. ඒ චිත්‍රපටය හරිම අඩු  මුදල් ප්‍රමාණයකින් කළ නිර්මාණයක්. අපිට මුදල් තිබුණ‍ෙ නැහැ, අපි රූගත කිරීම් කළා විතරයි.

-තත්වය එසේ වුවත්, ගුණාත්මක බව නොවෙනස්.

තාර් : හැබෑවටම

-මේ  ඔබ කියූ කියමනක්. ‘කිසියම් කාලාත්මක ස්වරූපයක ඇති  රැඩිකල්වාදය සෘජුවම  ප්‍රෙක්ෂකයාගේ දේශපාලනික අදහස් වලට බලපෑම් කළ යුතුයි’ මෙය තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්ද?

තාර් : මට මතක නැහැ මම එහෙම කිව්ව ද කියලා. ඔබ දන්නවා චිත්‍රපටයක් කියන්නේ චිත්‍රපටයක්. මට ඕනේ ඔබව සිනමා ශාලාවට ගෙන්වන්න, අඳුරේ ඉඳ‍ගෙන ඔබ එය නරඹන්න. ඔබ එතැනින් පිටත්ව යන විට, මම අහනවා,:  ඔබට කෙහොමද, ඔබ හොඳින්ද, ඔබ වඩාත් ශක්තිමත් කියලා දැනෙනවද? ඔබ යමක් ලබා ගත්තද? නැත්නම්  මේ  මුලින් සිනමා ශාලාවට ඇතුළු වුණු කෙනාමද? ඉතින් එපණමයි.

-නමුත් උදාරහණයක් ලෙස, The Turin Horse චිත්‍රපටය තුළ තියෙන්නේ දුංඛිත, බියජනක සහ විනාශකාරී වටපිටාවක්.

තාර් : නැහැ

– ඔබ එකඟ වෙන්නේ නැහැ?

තාර් : නැහැ. මම එකඟ නැහැ.

-ඒ කියන්නෙ එය ප්‍රීතිය ගෙන දෙන චිත්‍රපටයක්?

තාර් : පරණ ප්‍රශ්නෙමයි. ඔබට කොහොමද දැනුනේ ඔබ චිත්‍රපටය නරඹලා සිනමා ශාලාවෙන් පිටතට ආපුවම?

-පුදුමයෙන් ගොළු වුණා.

තාර් : ඔබ ශක්තිමත් වෙලා.

-නමුත් ඉන් අදහස් වෙන්නෙ නැහැ සමහර ප්‍රෙක්ෂකයින් එය ව්‍යසනකාරී හැඟීමක් ජනනය කරවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇතියි  කියලා.

තාර් : ඇත්ත. ඉන් කියැවෙන්නේ නැහැ හැම කෙනාටම ඒ ලෙසම දැනෙන්න ඕනෙ කියලා.

-ඔබට තිබුනා ඔබගේ ම චිත්‍රාගරයක් තර්සුලා…..

තාර් : … ඔව් ඒ 70, 80 කාලෙ. ඊටපස්සෙ මම මගේම සමාගමක් පටන් ගත්තා බුදාපේස්ට් වල , T.T. Filmmuhely අපි එතැන වැඩ කළා  අවුරුදු නමයක්.  දැන් ඒක වහලා. ඊට පස්සෙ මම රටින් පිට වුනා.

-ඒ කාලේ, 70, 80 ගණන්වල , තර්සුලා චිත්‍රාගාරයේ ඔබ තරුණ සිනමා  විචාරකයින්ට සහය දුන්නා…

තාර් : අපි හැම කෙනාටම සහය දුන්නා. මම , T.T. Filmmuhely හි වැඩ කරන  විටත් එය අපි වසා දමන විටත්, මගේ මේසය මත අත් පිටපත් කන්දක් තිබුණා.

-නමුත් ඔබ කොවකස් ලියපු දේ වැදගැම්මකට නැහැ කිව්ව නිසා…..

තාර් :…. මම ඒක වැදගැම්මකට නැහැ කියලා කිව්වෙ නැහැ. එය ඔහුගේ මතය. ඔහුට ඔහුගේ මතය කියන්න අයිතියක් ‍තියෙනවා නමුත් ඉන් කියැවෙන්නෙ නැහැ මම  ඔහුට එකඟ වනවා කියලා.

-ඇත්ත. නමුත් ඔබ තරුණ සිනමා විචාරකයින්ට සහය දෙන විට එය ඉතාමත් වැදගත් දෙයක් ලෙස ඔබ සැලකුවා. සිනමා විචාරයේ අද තත්වය කොහොමද?

තාර් : අවංකව කිව්වොත් අපි  එකම බෝට්ටුව‍ෙ. සිනමා සංස්කෘතිය කියන්නේ, වාර්තා චිත්‍රපට, කාටුන් චිත්‍රපට, වෘත්තාන්ත චිත්‍රපට, සිනමා ඉතිහාසඥයන්, සිනමා සඟරා වගේ හැමදේම ඇතුළත් එක් ඒකකයක්- එය එක් ඒකකයක් ලෙස තිබිය යුතුයි.  අපිට කියන්න බැහැ එක් දෙයක් අනෙකට වඩා වැදගත්  කියලා. එය මෝඩකමක්. සැබවින්ම චිත්‍රපට චිචාරකයින් හරිම වැදගත් කාර්යයක් කළ යුතුව තිබෙනවා- ඔවුන් අපව තේරුම් ගත යුතුයි. අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා චිත්‍රපට විචාරකයෝ එක්ක, ඔවුන් අපි චිත්‍රපට හදන්නෙ කොහොමද කියලා තේරුම් ගන්නෙ නැති විට දි. අපිට තියෙන්නෙ එකම ශබ්දකෝෂයක් නෙමෙයි. සමහර වෙලාවට මට හිතෙනවා චිත්‍රපට විචාරකයන්ට ආරාධනා කරලා, දවසක Truck  dolly  එක ඇදලා බලන්න කියන්න, අපේ භාෂාව තේරුම් ගන්න. මම මගේ සිනමා පාසලේ උගන්වද්දි මම කැමතියි කැමරා ශිල්පීන්, නළුනිළියන් වගේම සිනමා ජනමාධ්‍යවේදීන් පවා ඇතුළත් කරගන්න. මොකද ඒ අය ඔක්කොම එක ට ඉන්න ඕනෙ නිසා.

 

සුභාෂිනී චතුරිකා

Social Sharing

Related posts