තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

dalas

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත්  එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය.

කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය කළ ” තොරතුරු එන්නත සියලු පුරවැසියන්ට සහතික කරමු ” යන සැමරුම් උළෙල හා සජීවි සංවාද මණ්ඩපයේදීය.  මෙය අද (28) දින සුම් තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කියා සිටියේය.

තොරතුරු දැනගැනීමේ විශ්වීය ප්‍රකාශනය සහතික කරමින් අද මේ හමුව සංවිධානය කිරීමට කටයුතු කරපු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වේදීන්ගේ සංවිධානය රාජ්‍යයක මූලික වගකීමක් ඉෂ්ඨ කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වෙනවා.

ශිෂ්ඨ මානවයා මූලික අවශ්‍යතා වලින් එහාට පරිණාමය වීමත් සමගම ඒ ඒ කාලය තුළ ඉතාමත්ම වැදගත් අංග මොනවාදැයි තීරණය වීම සිදු වුණා. ඒ තමයි මානව අයිතිවාසිකම් යන්න. මානව ප්‍රගමනයට සමගාමීව මානව අයිතිවාසිකම් වැඩුණු නමුත් එය මානවයා ගේ දියුණු වීමත් සමඟ සසඳද්දී සැමවිටම අයිතිවාසිකම් සිටියේ පිටුපසින්.

මීට වසර දෙසිය හතළිස් පහකට පෙර බිහි වුණු නිදහස් ඇමරිකාවේ තම සහෝදර කළු ජාතිකයන් නිදහස් කිරීමට ශතවර්ෂයකට ආසන්න කාලයක් ගත වීමත් ඔවුන්ට සිවිල් අයිතිවාසිකම් ලබාදීමට තවත් වසර සියයක් ගත වීමත් ඒ වගේම කළු ජාතිකයෙක්  රටේ ජනාධිපති වීමට තවත් වසර 50 ක පමණ කාලයක් ගත වීමත් යන කාරණා නිදර්ශන වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

දියුණු මානවයා මන්දගාමීව හෝ මානව අයිතිවාසිකම් ඉටුකරගත්තා. නිදහස් පුරවැසියකු වීමේ අයිතිය, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, කාන්තාවන්ට ඡන්දය භාවිතා කිරීමේ අයිතිය, සුළුතර නියෝජනයක් ඇති ජනවර්ග වල අයිතිය, සිවිල් අයිතිය ,ප්‍රකාශන අයිතිය අධ්‍යාපනය ලැබීමේ අයිතිය ආදී වශයෙන් එකතුවී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය වර්තමානය වන විට ආර්ථික සමාජීය සිවිල් සහ දේශපාලනික වශයෙන් මානව හිමිකම් වර්ගීකරණය වුණා.

මානවයාගේ වටිනාම සම්පත් මේ හා සමානව කාලයෙන් කාලයට වෙනස් වුණා. යුරෝපීය දේශ ගවේෂකයන් සාගර පීරා යමින් සොයා ගත්තේ රත්තරන්. 18 වන ශතවර්ෂය දක්වාම රත්තරන් මානවයාට වටිනාම භෞතික සම්පත වුණා.

කාර්මික විප්ලවයෙන් අනතුරුව වටිනා සම්පත් බවට පත්වුණේ ඛනිජ තෙල්. විසිවැනි සියවසේ සිට අද දක්වාම ඛනිජ තෙල් මිනිසාගේ වටිනා සම්පත බවට පත්වුණා.

නමුත් විසි එක් වෙනි ශත වර්ෂයක් සමගම මානවයාගේ වටිනාම සම්පත බවට පත්වුණේ තොරතුරු. ඒ නිසා තමයි ලෝකයේ ධනවත්ම පුද්ගලයා පවා තොරතුරු ගබඩා කිරීමට පෙළඹී සිටින්නේ.

තොරතුරු ගවේශනය කිරීම ගබඩා කිරීම සහ පරිහරණය කිරීමට ඔවුන් පෙළඹී සිටිනවා. ගූගල්, facebook, apple, Microsoft, amazon ඊට කදිම උදාහරණ සපයනවා. ඉතින් මේවා වටිනාකමක් ලැබී ඇති තොරතුරු වර්තමානයේ ජන ජීවිතය දේශපාලනය සමාජයේ සහ ආර්ථිකය මෙහෙයවනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන සෑම රටකටම තොරතුරු  දැනගැනීමේ හිමිකම ලබා දීම මූලික අයිතියක් බවට පත් වී තිබෙනවා. එම වැදගත්කම හේතු කරගෙන තමයි අද අපි මේ සමරන තොරතුරු සඳහා විශ්ව ප්‍රකාශනය බිහිවුණේ.

ඒ නිසා මෙය සුරක්ෂිත කිරීම ප්‍රවර්ධනය කිරීම සහ නොනැවතී පවත්වාගෙන යෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක සෑම පුරවැසියන්ට පැවරෙන වගකීමක් සහ යුතුකමක් බවට පත්ව තිබෙනවා.

වර්ෂ 2002 දී තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය බවට පත් වුණා. අප කවුරුත් දන්නවා 2019 ඔක්තෝම්බර් මාසය දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය විශ්වීය දිනයක් බවට පත් කළා.

ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වසර 2016 දී පිළිගනිමින් වසර 2017 සිට ක්‍රියාත්මක කිරීමට ලක් වුණා

ඊට පෙර පැවැති රජයට මම ඒ පිළිබඳව කෘතවේදීත්වය පළ කරන්න කැමතියි, ප්‍රතිපත්ති සම්පාදකයෙක් මෙන්ම පුරවැසියෙක් විදියට. මෙය අපේ රටේ සිදු වූ ඉතාමත්ම ධනාත්මක ඉදිරි පියවරක්.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙන රටකට එය ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා තොරතුරු දැනගැනීමේ විශ්වීය ප්‍රකාශය තවත් නාමික පනතක් බවට පත් නොකර ඵලදායි ක්‍රියාත්මක කිරීමේ වගකීමක් මාධ්‍යවේදීන්ට පැවරී තිබෙනවා.

සැබෑ තොරතුරට අවකාශයක් නොමැති තැන සාවද්‍ය තොරතුරු අභිජනනය වන වටපිටාවක් බිහිවන බව සාමාන්‍ය දෙයක්.

සාවද්‍ය තොරතුරු සමාජගත වීම නිවරදි තොරතුරු වසන් කිරීමට වඩා වැඩි අභිමහත් විනාශයක් සිවිල් සමාජයට ඇති කරන බව රහසක් නොවෙයි.

මෑත ඉතිහාසය ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ වන මැතිවරණයට සිදුවන බලපෑම උදාහරණ වශයෙන් ගෙන හැර දැක්විය හැකිය. සාවද්‍ය තොරතුරු සමාජයට මුදා හැරීමෙන් වන හානිය තවදුරටත් පැහැදිලි කළ යුතු වන්නේ නැහැ.

අල්ලස් චෝදනාවට වරදකරු වුණු මහජන නියෝජිතයෙකු ඔහු එම ආසනයෙන් නෙරපා හරිමින් පසුගියදා මොනරාගල මහධිකරණය විශිෂ්ට නඩු තීන්දුවක් ලබා දුන්නා. එය ඓතිහාසික නඩු තීන්දුවක්. ඒ සඳහා තොරතුරු දැනගැනීමේ පනත උපකාරී වුණු බව එම පැමිණිල්ල ඉදිරිපත් කළ පැෆරල් සංවිධානයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා. එය ඉතාමත්ම වැදගත් ඓතිහාසික සංසිද්ධියක්.

සාධාරණ සහ නිදහස් මැතිවරණ ව්‍යාපාරයක් පැවැත්වීම වෙනුවෙන් දියුණු වෙමින් පවතින රටක් වශයෙන් අපේ රටට පවතින අභියෝගයක්. මෙවැනි නඩු තීන්දුවක් එවැනි අභියෝග මගහැරීමට අනාගතයේ දී හෝ ඉවහල් වනු ඇතැයි අපේ විශ්වාසයයි.

එවැනි සංධිස්ථානයකට මග පෑදූ ලංකාවේ මානව විශ්වීය ප්‍රකාශය හුදෙක් සැමරුමකට සීමා නොකොට සංරක්ෂණයට, පරිණාමය කරමින් පෝෂණය කරමින් ඒ වගේම ප්‍රවර්ධනය කරමින් රට සහ රටේ අනාගතය  සඳහා මෙය මෙහෙයවීම අප සැම දෙනාගේම වගකීමක් යැයි කියා සිටියේය.

මෙහිදි හිටපු කථානායක කරු ජයසුරිය, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ සමාජික නීතිඥ එස්.ජී . පුංචිහේවා, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම්, නෙළුම්යාය පදනමේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ රදීකා ගුණරත්න, ට්‍රාන්ෆ්‍රේරන්ස් ඉන්ටර්නැෂල්හි  විධායක අධ්‍යක්ෂිකා නීතිඥ නදිශානි පෙරේරා යන මහත්ම මහත්මීන් අදහස් දැක් වුහ .

මෙහිදි සංවාද මණ්ඩපය මෙහෙයවන ලද්දේ නීතිඥ දුලාන් දසනායක මහතා විසිනි.

නදීක දයා බණ්ඩාර

Social Sharing

Related posts