කොවිඩ් ආසාදිතයින්ගේ ඉඳුල් ටික පවා වලදාන ඒ් මිනිසා , සෞඛ්‍ය කම්කරුවාය!

කොවිඩ් ගෝලීය වසංගතයත් සමඟ පෙරමුණේ සිටින්නේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශය. මේ අතරින් සෞඛ්‍ය අංශ ඉටු කරන මෙහෙය අප්‍රමාණය.

ඔවුන් සිය ජිවිත අවදානමට ලක් කර, සිය දරුවන්, දෙමාපියන් අමතක කර දමා මේ අවස්ථාවේ රාජකාරියේ නියැලී සිටින අයුරුත් ඒ් රාජකාරී මේ වන විට දරා ගැනීමට නොහැකිව හෙම්බත්ව සිටින ආකාරයත් අප දකිමු. ඒ් නිසාම අපි ඔවුන්ව සුව විරුවන් වශයෙන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කරන්නෙමු.

නමුත් මේ සෞඛ්‍ය අංශ මෙන්ම සිය ජිවිත අවදානමට ලක් කරමින්, එහෙත් සුලු වැටුපක් ලබන අහිංසක පිරිසක් මේ අවස්ථාවේ අපරිමිත සේවයක් ඉටු කරන බව ඔබ දැන සිටියාද?

කිසිදු පුද්ගලයෙකුගේ අවධානයට ඇස නොගැටුණු මේ ජිවිත ගෙවන්නේ සුඛෝපභෝගී ජිවිත නම් නොවේය. නමුත් රජයේ රැකියාවකි. රජයේ සෙසු නිලධාරීන් ලබන වරප්‍රසාද මේ පිරිසට නම් ලැබෙන්නේ අල්ප වශයෙනි. ඒ් රාජ්‍ය සේවයේත් මොවුන් බෙදා වෙන් කර ඇති හෙයිනි.

නමුත් අන් රාජ්‍ය නිලධාරීන්ට වඩා මේ මිනිසුන් තුල ඇත්තේ මනුස්සකමය. මොවුන් නැතිනම් අද අපිට දිවි ගෙවන්නට වන්නේ අප්‍රසන්න පරිසරයකය.

අප මේ කථා කරමින් සිටින්නේ පළාත් පාලන ආයතන වල සිටින සෞඛ්‍ය කම්කරුවන් ගැනය . නගර සභා, ප්‍රාදේශිය සභා නියෝජනය කරමින් සිටින මේ සෞඛ්‍ය කම්කරුවන් ( සනීපාරක්ෂක කම්කරුවා) ඉටු කරනා මෙහෙය ගැන කිසිවෙකුත් මෙතෙක් අවධානයක් යොමු කර නැත. නමුත් සැබවින්ම ඔවුන්ව ඇගයීමට ලක් කළ යුතුය.

ගම්පහ මහ නගර සභාව

ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය තුල මේ වන විට ගම්පහ රෝහලට අමතරව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ඇත්තේ යක්කල, වැරැල්ලවත්ත මධ්‍යස්ථානය වේ. මෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ කොවිඩ් ආසාදිතයින්ය. මෙය පාලනය වන්නේ ගම්පහ රෝහල මඟිනි.

මේ වන විට ගම්පහ මහ නගර සභාවේ සෞඛ්‍ය සේවකයින් දවසට දෙවරක් මේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ගොස් ඔවුන් ආහාර ගැනීමෙන් පසු ඉතිරි කරන සෙසු ආහාර කොටස් සියල්ල නගර සභා ට්‍රැක්ටරයකින් ගෙනවිත් ප්‍රදේශයේ හිස් බිම් කොටසක වලක් කපා වල දැමීම සිදු කරයි.

කොවිඩ් ආසාදිතයෙකු මුඛයෙන් මෙන්ම, දෑතින් ස්පර්ශ කර ඇති මෙම ආහාර කොටස් මේ සෞඛ්‍ය කම්කරුවන් සෞඛ්‍යාරක්ෂිතව බැහැරලන ආකාරය ඉතාම ප්‍රශංසනීය වේ.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ උපදෙස් මත මෙම ක්‍රියාවලිය දිනපතාම සිදුවන්නකි. එසේම මේ කොවිඩ් රෝගීන් ඉවත් කරන සියලු අපද්‍රව්‍ය විනාශ කෙරෙන්නේද සෞඛ්‍යාරක්ෂිතවය. ඇතැම් ද්‍රව්‍ය රෝහලේ දහනාගාරයට දමා පුලුස්සනු ලබයි.

මේ සියල්ලටම මුල් තැන ගන්නේ සෞඛ්‍ය කම්කරුවන්වය. මේ සියලු කටයුතු සඳහා ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබා දීමට පියවර නගර සභාව පියවර ගෙන ඇත.

මේ අකාරයෙන් මේ කටයුතු සෑම පළාත් පාලන ආයතනයකම නිසි පරිදි සිදු නොවනවා විය හැකිය. නමුත් මේ සෞඛ්‍ය කම්කරුවන් ඉටු කරන සේවය නම් අති මහත්ය.

පොලොන්නරුව

පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් ඇති අතර ඇැතම් අවස්ථා වල ඒ්වායේ අප ද්‍රව්‍ය මින්නේරිය උද්‍යානය අසලින් මෙන්ම මහ මඟ තැනින් තැන දමා තිබියදී හමු වු ආකාරය අපට අමතක නැත. ඒ් අපද්‍රව්‍ය බැහැරලීම එවකට භාරව තිබුණේ සෞඛ්‍ය අංශයෙන් බැහැර පිරිසකටය. මේ වන විට නම් යළි එම කටයුතු සෞඛ්‍ය අංශ වෙත පැවරී ඇති බව පැවසේ. ඒ් අනුව දැන් විධිමත්ව මේ කටයුතු සිදු කෙරෙනු ලැබේ.

ඒ් අනුව මේ වන විට කැලි කසල ද්‍රව්‍ය පුනානි ප්‍රදේශයට ගොස් බැහැරලිම කරගෙන යන අතර සෞඛ්‍ය අපද්‍රව්‍ය රෝහල් දහනාගාරයට යොමු කරනු ලබයි.

පාලුවට ගිය නගර වල ඉන්නේ ඔවුන්

මුලු රටම ලොක් ඩවුන් එකක තිබුණද මේ වන විට සියලුම පළාත් පාලන ආයතන වල සෞඛ්‍ය කම්කරුවන් රාජකාරි කරමින් සිටියි. නගරබදව නම් මේ කම්කරුවන් දින දෙක තුනක් සේවයේ යොදුනේ නැත්නම් තැනින් තැන කුණු කඳු ගොඩගැසේ.

නව ඩෙල්ටා ප්‍රභේද ව්‍යාප්ත වීමේ ක්‍රම රැසක් තිබුණද, කෙල බිඳිති මඟින් ව්‍යාප්ත වීමේ අවදානම තිබියදී , ඒ් සියල්ල අභියස මේ සෞඛ්‍ය කම්කරුවා දිනපතාම මහා මාර්ග සුද්ධ පවිත්‍ර කිරිම, නගර අලංකරණ කටයුතු දෛනිකව සිදු කරයි.

මොවුන්ට රැකියාවට යාමට ප්‍රාඩෝ, හයිබ්‍රීඩ් නැත. ඔවුන්ට ආයතනයෙන් ලැබී ඇති එකම වාහනය අත් කරත්තය හෝ කසල බහාලන ලොරිය හෝ ට්‍රැක්ටරය වේ. ඊට අමතරව ඉදලක් , කොස්සක්, උදැල්ලක් හිමිය. මොවුන්ට අව්ව, වැස්ස අදාල වන්නේ නැත.

මේ සීමිත ද්‍රව්‍ය වලින් ඔවුන් රාජකාරි කරන්නේ අනේක දුක්කම්ටොලු මැදය. ඔවුන්ට නහයක්, කටක් ඇත. නමුත් සියලු ගඳ, සුවඳ දරා ගනිමින් ඔවුන් සිය කටයුතු කරනු ලබයි.

මේ ඔවුන්ව ඇගයීමට ලක් කළ යුතු හොඳම කාලය නොවේද? ඒ් ජිවිත වලටත් සිනහවක් දිය හැකි නම්?

 

ශානි

Social Sharing
නවතම විශේෂාංග