
ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, 2026 වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000 සීමාවට ඉතා ආසන්න වී ඇති බවයි.
ඊයේ (13) දිනට නිකුත් කළ සංඛ්‍යාලේඛන අනුව, මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 69,951ක් ලෙස සටහන් වී තිබේ. පසුගිය 12 වැනි දින වන විට එම සංඛ්‍යාව 68,672ක් වූ අතර, ගතවූ පැය 24 තුළ පමණක් නව රෝගීන් 1,279 දෙනෙකු වාර්තා වී ඇත.
රෝග ව්‍යාප්තියේ වැඩිම බලපෑම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම පළාතෙන් පමණක් රෝගීන් 36,795ක් හඳුනාගෙන ඇත. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් (14,464) වාර්තා වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් (14,004) රෝගීන් හඳුනාගෙන තිබේ.
ජූලි මාසයේ ගතවූ දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572ක් වාර්තා වී ඇති අතර, වසරේ මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූ මාසය ලෙස ජූනි මාසයේ රෝගීන් 21,538ක් වාර්තා වී ඇත.
මේ අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක 11ක් ආවරණය වන පරිදි සතියක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් මෙම බ්‍රහස්පතින්දා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබේ. එහිදී අවදානම් ප්‍රදේශවල පරිශ්‍ර පරීක්ෂා කිරීම, මදුරු අභිජනන ස්ථාන විනාශ කිරීම සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.
තවද, ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් පාසල් දරුවන්ට මදුරු දෂ්ටනයෙන් ආරක්ෂාව ලබාදීම සඳහා, පාසල් නිල ඇඳුමට අමතරව අත් හා පා ආවරණය වන සුදුසු ඇඳුම් පැළඳීමට ඉඩ ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තම නිවසේ හා අවට පරිසරයේ ජලය රැඳී පවතින ස්ථාන ඉවත් කර මදුරු අභිජනන ස්ථාන විනාශ කිරීම මඟින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසයි.
