
ඉන්දියාව කැළඹූ “සතන්කුලම්“ ඝාතන නඩුවේ තීන්දුව ඊයෙ ලැබුණා. මේ අනුව පොලිස් අත්අඩංගුවේ සිටියදී පිය-පුතු දෙපළ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දණ්ඩනය හිමි උනා.
මේ පිය-පුතු දෙන්නා කරපු වරද තමයි, එයාලට අයිති කුඩා වෙළඳසැලක් කොවිඩ් කාලයේදී විවෘතව තැබීම. පිය-පුතු දෙන්නා මේ හින්දා අත්අඩංගුවට පත් වුණා. පොලිසියෙදි මැරුණා. රට පුරාම මේකට විරෝධතා මතු උනා. උද්ඝෝෂණ මතු උනා. ඉන්දියාවම කැළඹුනා. වසර 6ක නඩුවකින් පස්සෙ ඊයෙ දිනයේදි පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට මරණ දඬුවම ලැබුණා. මේ දඬුවම කලාතුරකින් දකින්න ලැබෙන ආකාරයේ දඬුවමක්.
මේ තමයි එහෙම මියැදුනු “පී.ජයරාජ්”ගෙ සහ “ජේ.බෙනික්ස්”ගෙ කතාව. අපි නඩු තීන්දුව පියවරෙන් පියවර විමසා බලමු.
ජයරාජ්ට වයස අවුරුදු 59 යි. එයාගෙ පුතා තමයි බෙනික්ස්. පුතාට වයස අවුරුදු 31 යි.
ඉන්දියාවෙ සතන්කුලම් කියන කුඩා නගරයේ මේ දෙන්නා පොඩි කඩයක් කරගෙන ගියා. මේක තිබුණෙ තමිල්නාඩු ප්‍රාන්තයේ. මේ තාත්තාටවත් පුතාටවත් එරෙහිව ඉන්දීය පොලිසියේ කිසිම අපරාධ චෝදනාවක් හෝ පෙර වැරැද්දක් නෑ. සරලව කිව්වොත් නීතියට පිටුපාන්නැතිව පාඩුවේ හිටපු මිනිස්සු දෙන්නෙක්.
2020 වසර උදා උනා. කොවිඩ් වසංගතය පැතිරුණා. හැම තැනම වගේ තමිල්නාඩුවෙත් කඩසාප්පු වහන්න වෙලාවක් නියම කෙරුවා. හරියටම 2020 ජූනි මාසෙ 19 වැනිදා ජෙයරාජ් සහ බෙනික්ස් එයාලගෙ කඩේ සුපුරුදු විදිහට ඇරියා. කොවිඩ් නිසා හවස් වෙද්දි කඩ වහන්න තමයි නියමිතව තිබුණෙ. ජෙයරාජ් සහ බෙනික්ස්ට කඩේ වහන්න හරියටම විනාඩි 15 ක් ප්‍රමාද උනා. මේ විනාඩි 15ක ප්‍රමාදය තමයි එයාලට මරණය ගෙනාවේ.
කොවිඩ් මුර සංචාරයට පොලිස් නිලධාරීන් පිටත් උනා. කඩේ වහලා තිබුණෙ නැති හින්දා හවස 7.30ට විතර මේ පිය-පුතු දෙන්නව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. (මේක කෙරුවෙ ඉන්ස්පෙක්ටර් ශ්‍රීධර්, සබ් ඉන්ස්පෙක්ටර් බාලක්‍රිෂ්ණන්, කොස්තාපල් මුතුරාජා සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙක් විසින්)
පොලිසිය කඩේට ආවහම ජෙයරාජ් එක්ක බහින්බස් වීමක් උනා. මේ බහින්බස් වීම හින්දා තමයි ජෙයරාජ්ව අත්අඩංගුවට ගත්තේ. මේ වෙලාවෙදි බෙනික්ස්, ඒ කියන්නෙ පුතා එතැන හිටියෙ නෑ. ටික වෙලාවකින් පුතා දැනගත්තා තාත්තාව පොලිසියට ගෙනිහින් කියලා. ඉතින් බෙනික්ස් ගියා පොලිසියට.
බෙනික්ස් දැක්කා පොලිසියෙදි එයාගෙ තාත්තව උඩ එල්ලලා ගහනවා. බෙනික්ස් තාත්තව බේරගන්න කෑ ගැහුවා. පොලිසියෙදි පුතාත් බහින්බස් උනා.
මේ හින්දා බෙනික්ස්වත් අත් අඩංගුවට ගත්තා. පිය-පුතු දෙන්නවම එකම කාමරයකට දාලා ලොක් කෙරුවා. දෙන්නටම පහර දුන්නා. නීතීඥයෙක්ටවත්, ඥාතියෙක්ටවත් මෙයාලව බලන්න දුන්නෙ නෑ.
මේ වෙලාවෙ පොලිසියෙ හිටපු මිනිස්සු, පසුකාලයකදි නඩුවෙදි සාක්ෂි දුන්නා. ඔවුන් කිව්වා,
“උඹලා කොහොමද පොලිසිය එක්ක කටගහගෙන එන්නෙ?“ කියමින් මේ දෙන්නට පහර දෙනවා ඇහුණු බව.
පොලිසියෙදි වෙච්ච දේවල් ගැන ඉන්දියාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුකාලයක විමර්ෂනය කෙරුවා. මෙයාලගෙ වාර්තාව අනුව එදා හවස 7.45ට විතර තමයි පහර දීම පටන් අරන් තියෙන්නෙ. වට කිහිපයක් එක දිගටම මාරුවෙන් මාරුවට මේ දෙන්නට පහර දීලා තියෙනවා. පහුවදා පාන්දර 3ට තමයි පහර දීම නැවතිලා තියෙන්නෙ.
මේ පහර දීම අතරතුර රෑ 11.30ට විතර මෙතැනට ආවා උප පොලිස් පරීක්ෂක “රඝු ගනේෂ්“. මෙයා ආවාට පසුව තමයි සිදුවීම තව භයානක අතට හැරුණෙ. රඝු ගනේෂ් දිගින් දිගටම මෙයාලට අති අමානුෂික ලෙස පහර දුන්නා. අනෙක් නිළධාරීන්වත් එහෙම පහරදෙන්න පෙළඹෙව්වා.
ඉන්දීය අ.ප.දෙ (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු) වාර්තාව අනුව, වින්දිතයන්ගෙ (පිය-පුතු දෙන්නගෙ) ඇඳුම් ගලවලා, බරපතල ලිංගික සහ කායික වධ බන්ධනයන්ට ලක් කරලා තියෙනවා. කාමරයේ බිත්තිවල සහ බිම හැම තැනම ලේ පැල්ලම් විසිරිලා තිබුණු බව ඔවුන් නිරීක්ෂණය කෙරුවා. පසුව කරපු ඩී.එන්.ඒ පරීක්ෂණ අනුව ඔවුන් බරපතල ලෙස පහර කෑමටත් අඩන්තේට්ටමටත් ලක් වූ බව තහවුරු උනා.
පොලිසියේ වැඩකටයුතු පහසු කරගන්න නිර්මාණය කරලා තිබුණු ස්වේච්ඡා කණ්ඩායමක පිරිස් පවා මේ වධ දීමට එක්කාසු උනා.
2020 ජූනි 20 වැනිදා, ඒ කියන්නෙ පහුවදා පොලිසිය විසින් මේ දෙන්නව “කෝවිල්පට්ටි“ රෝහලට ඇතුළත් කෙරුවා.
මේකට හේතු වෙලා තිබුණෙ නොවත්වා අධික ලෙස රුධිරය වහනය වීම. මේක විස්තර කිරීම උවමනාවට වඩා බරපතළයි. කෙටියෙන් කිව්වොත් ගුද මාර්ගයෙන් දිගටම රුධිරය ගලපු හින්දා හය වතාවක් ඔවුන්ට යට ඇඳුම් අන්දන්න රෝහලේදි සිද්ධ උනා.
හැබැයි පුදුමසහගත විදිහට වෛද්‍යවරයා වාර්ථාවක් ලබාදුන්නා. මේ වාර්ථාව අනුව මේ පිය-පුතු දෙන්නා අත් අඩංගුවට ගත හැකි මට්ටමේ ශාරීරික යෝග්‍යතාවයකින් ඉන්න බව කියැවුණා.
ඊට පස්සෙ පොලිසිය මේ දෙන්නව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කෙරුවා. ඩී.සරවනන් තමයි මහේස්ත්‍රාත්වරයා.
මේ වෙද්දි කොවිඩ් තත්ත්වය හින්දා, මහේස්ත්‍රාත්වරයා එයාගෙ පරීක්ෂණය සිදු කෙරුවෙ බැල්කනියෙ ඉඳන්. සැකකරුවන්ගෙ තුවාල නිරීක්ෂණය කෙරුවෙ නෑ. ඒ වගේම සැකකරුවන් එක්ක සෘජුව කතා කෙරුවෙ නෑ.
මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ව රිමාන්ඩ් භාරයේ තබාගන්න නියෝග කෙරුවා. ඒ කියන්නෙ මීළඟ නඩු දිනය වෙනකන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුවා.
මේ දෙන්නව එතැන් ඉඳලා කිලෝමීටර 100ක විතර දුරින් තිබුණු කෝවිල්පට්ටි උප බන්ධනාගාරයට ගෙනිච්චා. එදා හවස් වෙනකන් මෙයාලට නීතීඥයෙක්ගෙ සහාය ගන්න ඉඩක් ලැබුණෙ නෑ.
2020 ජූනි 22 වැනිදා, ඒ කියන්නෙ තුන්වැනි දවසෙ රෑ 9 වෙද්දි, බෙනික්ස් මියැදුනා. ඒ කෝවිල්පට්ටි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව. මරණයට හේතුව උනේ අභ්‍යන්තර අවයවයන්ගෙ අධික රුධිර වහනය.
ඊට පහුවදා, ඒ කියන්නෙ 2020 ජූනි 23 වැනිදා හවස 4.30ට ජෙයරාජ් මියැදුනා. හේතුව උනේ පෙනහලු සිදුරු වීමක්.
මේ ආරංචියත් එක්ක, මෙයාලගෙ කඩේ තිබුණු “සතන්කුලම්“ නගරයේ වෙළඳ සංගමය විසින් උද්ඝෝෂණයක් ආරම්භ කෙරුවා. කඩ සාප්පු වැහුවා. හැමෝම පාරට ආවා. මේක වේගයෙන් ව්‍යාප්ත උනා. දින කිහිපයක් ඇතුළත මුලු තමිල්නාඩුව පුරාම මේ මරණයන්ට සාධාරණය ඉල්ලලා උද්ඝෝෂණ සිද්ධ උනා. සෝෂල් මීඩියා කැම්පේන් එකක් පවා දියත් උනා. හෑෂ් ටැග් එකක් නිර්මාණය උනා. මේ හෑෂ් ටැග් එක වටා ඉන්දියාව පුරාම මිනිස්සු එකතු උනා. දේශපාලනඥයො සහ සෙලිබ්‍රිටිලා විරෝධතාවලට එකතු උනා.
මේ සිදුවීමත් එක්ක මැඩ්‍රාස් මහාධිකරණය Suo Motu Action එකක් ගත්තා. ඒ කියන්නෙ කවුරු හෝ පැමිණිලි කරනකන් ඉන්නැතිව අධිකරණය විසින්ම මැදිහත් වෙලා ක්‍රියාත්මක වීමක්.
මේ අධිකරණ ක්‍රියාමාර්ගය ගත්තෙ “විනිසුරු ප්‍රකාශ්“ සහ “විනිසුරු පූගලේන්ධි“ විසින්.
විනිසුරුවරු දෙපළ නියෝග කෙරුවා, පොලිස්පති යටතේ විශේෂ විමර්ෂනයක් කරන්න කියලා. ඒ වගේම මරණ පරීක්ෂණය සිදු කරපු අවස්ථාවේ වීඩියෝපට අධිකරණයට ලබාදෙන්න කියලා. වෛද්‍ය විශේෂඥයින් තුන් දෙනෙක් හමුවේ මරණ පරීක්ෂණය සිදු කරන්නත් උපදෙස් දුන්නා. මේ සියලු අවස්ථාවලට අදාල වාර්ථා අධිකරණයට ඉදිරිපත් කළ යුතු උනා.
ඉන්දීය නීති ඉතිහාසයේ ප්‍රථම වරට, දිස්ත්‍රික් පරිපාලන අධිකාරිය විසින් පොලිස් ස්ථානයේ පාලනය තමන් යටතට ගත්තා. පොලිසියට බැරි උනා මේකට මැදිහත් වෙන්න. මේ හින්දා පරීක්ෂණ සිද්ධ කළ මහේස්ත්‍රාත්වරයාට බාධාවකින් තොරව සාක්ෂි එකතු කරගන්න අවස්ථාව ලැබුණා.
නමුත් මේ වෙද්දිත්, පොලිසිය විසින් සාක්ෂි විනාශ කරන්න උත්සාහ කර තිබෙන බව අධිකරණයට හෙළි උනා. පොලිස් වාර්ථාවල පිටු ගලවා තිබුණා. පරීක්ෂණ කළ නිළධාරීන්ට බාධා කෙරුවා. මහේස්ත්‍රාත්වරයාගෙ කටයුතුවලට දිගින් දිගටම නිග්‍රහ කෙරෙන වැඩ සිද්ධ උනා.
ඉන් පසුව පරීක්ෂණ කටයුතු, ඉන්දීය පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරීන් යටතට පත් කෙරුවා. මේ පරීක්ෂණය ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.
2020 ජූලි 7 වැනිදා අ.ප.දෙ. පරීක්ෂණ ඇරඹුනා. මේ අනුව ඔවුන් වෙන වෙනම අපරාධ ගොනු දෙකක් ආරම්භ කෙරුවා. අපරාධ අංක 649 සහ 650 ලෙස මේ පරීක්ෂණ දෙක කෝවිල්පට්ටි පොලිසිය යටතේ ලියාපදිංචි කෙරුවා.
පරීක්ෂණයේදි පොලිස් නිළධාරීන් 10 දෙනෙකු අත් අඩංගුවට පත් උනා. මේ අතර ඉන්ස්පෙක්ටර් ශ්‍රීධර්, සබ් ඉන්ස්පෙක්ටර් රඝු ගනේෂ්, බාලක්‍රිෂ්නන් ඇතුලු පිරිසක් හිටියා. ඔවුන් අතර හිටපු උප පොලිස් පරීක්ෂක “පෝල්දුරාජ්“ කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් උනා. ඒ අනුව ජීවතුන් අතර හිටපු සැකකරුවන් ගණන 9ක් බවට පත් උනා.
ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව, අ.ප.දෙ විසින් මේ අයට චෝදනා ගොනු කෙරුවා.
ප්‍රධාන චෝදනා උනේ මේවා;
1-දනීස (දණ්ඩ නීති සංග්‍රහයේ) 302 වගන්තිය: චේතනාන්විතව (හිතාමතා) මරණ සිදු කිරීම.
2-දනීස 342 ව.: නීති විරෝධී ලෙස පුද්ගලයින් සිරකොට තබාගැනීම
3-දනීස 201 ව.: සාක්ෂි විනාශ කිරීම
4-දනීස 182 ව.: ව්‍යාජ තොරතුරු සපයමින් නිළධාරීන් නොමඟ යැවීම
5-දනීස 193 ව.: ව්‍යාජ සාක්ෂි ලබා දීම
6-දනීස 211 ව.: වැරදි සහගත ලෙස පුද්ගලයන්ට අපරාධ චෝදනා එල්ල කිරීම
7-දනීස 218 ව.: නිළ වාර්ථා විකෘති කිරීම
8-දනීස 120 ව.: අපරාධයක් සඳහා එක්ව කුමන්ත්‍රණය කිරීම
9-දනීස 34 ව.: පොදු චේතනාවකින් කණ්ඩායමක් ලෙස අයථා ක්‍රියාව සිදු කිරීම
දැන් අපි බලමු මුලින්ම පොලිසිය විසින් ජෙයරාජ්ට සහ බෙනික්ස්ට දාලා තිබුණු චෝදනා මොනවද කියලා.
වගන්ති ටික ලියන්නැතිව කෙටියෙන් කියන්නම්. රජයේ ආඥාවට අවනත නොවීම, වසංගතයක් පතුරවාහරින්නට කටයුතු කිරීම, අශිෂ්ට ලෙස ක්‍රියා කිරීම, රාජකාරියට බාධා කිරීම, අපරාධමය ලෙස නිළධාරීන් බියගැන්වීම. මේ චෝදනා සියල්ලම කොවිඩ් 19 සමයේ පණවා තිබුණු නියෝග රෙගුලාසිවලට අනුගත ඒවා.
සියල්ලම අවසානයේදි නඩුව ආරම්භ උනා. නඩුවේ නම CBI v. Sridhar and 9 others.
නඩු අංකය SC 470 of 2020.
මදුරෙයි හි, අතිරේක දිස්ත්‍රික් විනිසුරු “ජී.මුතුකුමාරන්“ මහතා තමයි විනිසුරු අසුනේ හිටියෙ.
මේ නඩුවේ සාක්ෂි විදිහට ඉදිරිපත් කරලා තිබුණා, බිත්තිවල තිබුණු ලේ පැල්ලම්වලින් ගත්තු ඩී.එන්.ඒ සාම්පල. වෛද්‍ය වාර්ථා. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථා. මහේස්ත්‍රාත්වරයාගෙ නිරීක්ෂණ වාර්ථා. ඇසින් දුටු සාක්ෂිකරුවන්. සහ රෝහල් වාර්ථා.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්ථාවෙන් කියැවුනේ, දිගින් දිගටම කළ පහර දීමකින් දරුණු තුවාල සිදු ව තිබුණු බවක්. මේ තුවාල වින්දිතයින් විසින්ම කරගත්තු ස්වයං-හානි බව චූදිතයින් කිව්වා. අධිකරණය මේ මතය ප්‍රතික්ෂේප කෙරුවා. ජෙයරාජ් මැරුණෙ හෘදයාබාධයකින් බවට ඉදිරිපත් වූ තර්කයත් නිශ්ප්‍රභ උනා.
වසර 6ක දීර්ඝ නඩු විභාගයකින් පස්සෙ, තීන්දුව ලැබුණෙ 2026 මාර්තු 23 වැනිදා. (ගිය සතියෙ).
මේ අනුව අධිකරණය සියලු සාධක සළකා බලලා, චූදිත පොලිස් නිළධාරීන් 9 දෙනාම මේ වරදට වැරදිකරුවන් බව තීරණය කෙරුවා.
අධිකරණය මේ සඳහා දඬුවම් නියම කිරීම තවත් සතියකට කල් දැම්මා. ඒ අනුව ඊයේ (2026 අප්‍රේල් 6 වැනිදා) තමයි දඬුවම ලබාදුන්නෙ.
“සියලුම වරදකරුවන්ට මරණ දණ්ඩනය“ ලබා දෙන්න අධිකරණය තීන්දු කෙරුවා.
‘නීතිය රකින්න ඉන්න පොලිසිය විසින්ම නීතිය උල්ලංඝනය කරමින්, අහිංසක පුද්ගලයින් දෙන්නෙක්ව අමානුෂික ලෙස පහරදී මරා දැමූ දුර්ලභ නඩුවක් බව‘ අධිකරණය විසින් මේ වෙලාවෙ ප්‍රකාශ කෙරුවා.
පොලිස් නිලධාරීන්ට මරණ දණ්ඩනය (සියලුම දෙනාට) හිමිවීම ඉන්දීය නීති ඉතිහාසයේ අති දුර්ලභ සිදුවීමක්.
මීට අමතරව වින්දිතයින්ගෙ (පිය-පුතු දෙන්නාගෙ) පාර්ශ්වයට ඉන්දීය රුපියල් කෝටි 1.4 ක වන්දියක් ගෙවන්නත් මේ නිළධාරීන්ට නියම උනා. මේක ගෙවන්න ඕන 9 දෙනාම එකතු වෙලා.
මේ නඩුවේ විශේෂ ලක්ෂණයක් උනේ මැඩ්‍රාස් මහාධිකරණය විසින් suo motu ප්‍රතිකර්මයක් ලබාදීම. (සාමාන්‍ය ක්‍රමයට පැමිණිල්ලක් ලැබෙන තුරු නොසිට, තමා විසින්ම ක්‍රියාත්මක වී පියවර ගැනීම)
මේ නඩුවෙ තවත් සිද්ධියක් උනා. මම කලින් කිව්වා මේ පහරදීමට පොලිසියට අමතරව, පොලිසියේ සහයට හිටපු ස්වේච්ඡා පිරිසකුත් උදව් උනා කියලා. ඉන්දියාවෙ මේ කණ්ඩායම්වලට කිව්වෙ “Friends of Police” කියලා.
2020 ජූලි මාසෙ 8 වැනිදා මේ “Friends of Police” සංකල්පය, තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් අහෝසි කෙරුවා. මේ සිද්ධිය තමයි ඒකට බළපාපු ලොකුම හේතුව.
මේ සිදුවීම වෙද්දි “සතන්කුලම්“ පොලිස් ස්ථානයේ හිටපු නිළධාරීන් සියලුම දෙනාව එක්කො වැඩ තහනම් කෙරුවා. නැතිනම් ස්ථාන මාරු ලබාදුන්නා. මේකත් විශේෂ පියවරක්.
නීතියේදි නිතර කියැවෙන නීති සංකල්ප කීපයක්ම මේ නඩුවෙ දකින්න ලැබුණා. අත් අඩංගුවේදී වධ බන්ධනයන්ට ලක්වීම, පොලිස් වගකීම, බලවත් වෛද්‍ය නොසැළකිල්ල ආදී හැමදේම මේ කාරණයේදි බළපෑවා.
විනාඩි 15ක් වැඩියෙන් කඩයක් විවෘත කර තැබීම කොවිඩ් කාලයට අනුව වරදක් තමයි. හැබැයි මේ වගේ වධ විඳල මියැදෙන්න තරම් වරදක් නෙවෙයි. අවසානයේදි යුක්තිය ඉටු උනා.
මියැදුනු ජීවිත 2යි වැරදිකරුවන් 9යි ජීවිත 11ක් සුණු විසුණු උනා.
සටහන නුවන් ඉෂාර මහගමගේ
