කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා – සුදර්ශන ගුණවර්ධන

අර්බුද සමයක නායකත්ව භූමිකාව ගැන පසු විපරමක්

“මම ඔබට කතාවක් කියන්නම්. ඇමරිකානුවන් කැමතියි ‘යළි නැගී සිටීමේ” කතන්දර අහන්න. මම වැඩ කරන කලාපය තුළ ශ්‍රී ලංකාවේ කතාව තරම් හොඳ ‘යළි නැගී සිටීමේ” කතන්දරයක් නැහැ. අවුරුදු එක හමාරකට පමණ අතීතයට ඔබ ගමන් කළොත්, ඔබට මතක් වෙන්නේ අර්බුදකාරී තත්ත්වයක පවතින රටක්; වීදි වල මහජන කැරලි කෝලාහල, ආහාර, පෙට්‍රෝල්, ගෑස් සැපයුම් ලබා ගැනීම සඳහා ඇති දිගු පෝලිම්, ජනාධිපති මන්දිරය විරෝධතාකරුවන් විසින් අත් පත් කර ගත්තා; විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගේ පිහිණුම් තටාකයේ ස්නානය කරමින්, ජනාධිපති මුළුතැන්ගෙයි ආහාර පිළියෙළ කළා. ඔබ ළඟකදි ශ්‍රී ලංකාවට ගියා නම්, ඔබට පෙනේවි එය සම්පූර්ණයෙන්ම වෙනස් තැනක් බව. මුදල් ඒකකය ස්ථාවරයි; ආහාර සහ ඉන්ධන මිළ ගණන් ස්ථාවරයි; ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඔවුන්ට සහතිකයක් ලැබී තියෙනවා; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා දෙනවා. ඔවුන් මෙය කළේ කෙසේද? මම ඔබට ආරාධනා කරන්නේ මේ ගැන විමසා බලන ලෙසයි.”

2024 වසරේ පෙබරවාරි මාසයේ සාමය පිළිබඳ ඇමරිකානු ආයතනයේ පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාව ‘ශ්‍රේෂ්ඨතම යළි නැගී සිටීමේ කතන්දරය’ ලෙස හඳුන්වමින් මේ කතාව කියන ලද්දේ ඩොනල්ඩ් ලූ විසිනි. ඩොනල්ඩ් ලූ යනු ඇමරිකාවේ ජෝ බයිඩ්න් පරිපාලනය සමයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපය භාරව සිටි සහකාර ලේකම්වරයාය. රාජ්‍ය දෙපාර්තමේන්තුව යනු ඇමරිකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය හඳුන්වන නමයි. 2022 ඔක්තෝබර් මාසයේ ඩොනල්ඩ් ලූ ලංකාවේ සංචාරයක යෙදී විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කළේය. එවැනි එක සාකච්ඡාවකට සහභාගි වීමට ලියුම්කරුටද අවස්ථාවක් ලැබිණි.

ශ්‍රී ලංකාව එක්තරා අන්දමක ණය උගුලක සිරවී තිබිණි. එයට හේතුව කාලයක් මුළුල්ලේ අප රට තුළ ක්‍රියාත්මක වූ ජනප්‍රියවාදී හෙවත් ජනකාන්තවාදී දේශපාලනයයි. ආදායමට වඩා වැඩියෙන් වියදම් කිරීම එයට මූලික හේතුවයි. පොරොන්දු මත පදනම් වූ ජනකාන්තවාදී දේශපාලනය 1994 වසරේ සිට අත්පොළසන් සහ ජය ඝෝෂා හඬ මධ්‍යයේ විවිධ නායකයන් හරහා ඉදිරිරියට යන විට, අවමන් සහ ගැරහුම් ලබමින් විපක්ෂ නායක භූමිකාව ඉටු කිරීමට ඉරණම් ලබා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතාය.

2022 වන විට උපරිම තත්ත්වයට පත්වූ ආර්ථික අර්බුදයත්, එය විසින් ජනනය කළ දේශපාලන අර්බුදයත් හමුවේ සුළි කුණාටුවකට හසු වූ ශ්‍රී ලංකාව නමැති නෞකාව මෙහෙයවීමේ වගකීම දෛවය විසින් පවරන ලද්දේ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රී ධුරයක් පමණක් සතුව තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහටය.
දේශපාලන අර්බුදයන් ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවිණි. දකුණු ආසියානු කලාපීය රටවල් අතරින් 2024 දී බංග්ලාදේශයේද, 2025 දී නේපාලයේද මහජන අරගල ඔස්සේ බලයේ සිටි ආණ්ඩු පෙරළා දමනු ලැබිණි. එම රටවල් බරපතළ දෙශපාලන අර්බුදයන්ට මුහුණ දුන්නේය. එම දේශපාලන අර්බුදයන් පත්ලේ ද ආර්ථික අර්බුදයන් දක්නට ලැබිණි. කෙසේ වුවද බංගලාදේශයේ සහ නේපාලයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා හරිමින් විප්ලවකාරී ලෙස තාවකාලික ආණ්ඩු පිහිටුවන ලද අතර, ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය කාලයක් යන තුරු පැවතුණේය. කෙසේ වුවද මෙම අර්බුද සමයේදී ශ්‍රී ලංකාවේ නායකත්වය භාරගත් රනිල් වික්‍රමසිංහ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරමින් සහ ආරක්ෂා කරමින් සියළු පාර්ශ්වයන් එකතු කොට ගෙන රට දේශපාලන ස්ථාවරත්වයකට පත් කිරීමට ක්‍රියා කළේය. මැයි 09 වන දා ඇතිවූ කලබලකාරී තත්ත්වය යටතේ අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව ඉල්ලා අස්වීමෙන් ඇති වූ දේශපාලන අස්ථාවරත්වය තුරන් කිරීම පිණිස අගමැතිවරයා ලෙස වැඩ භාරගත් ඔහු, පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනා ගත්තේය. ඉන් මාස දෙකකට පසු ජූලි 09 වන දින ඇතිවූ සිදුවීම්වලින් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටෙන් පළා ගොස්, පසුව ඉල්ලා අස්වූ පසුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව වැඩබලන ජනාධිපති ලෙස පත්වූ ඔහු, ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහය ලබා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ඉන් අනතුරුව පැවති ප්‍රධානතම අභියෝගය වූයේ සැපයුම් ජාලය යථා තත්ත්වයට පත් කර ආහාර, ඖෂධ, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම විධිමත් කිරීමයි. මෙහිදී ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් වෙතින් මෙන්ම ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (යූ එස් ඒඩ් ), ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වැනි ආයතනයන්හි සහයෝගය ලබා ගෙන කෙටි කලකින් රට යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නායකත්වය ලබා දුන්නේය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා, ආණ්ඩුක්‍රමව්‍යවස්ථානුකූලව පිහිටුවා ඇති ආයතන සහ කොමිෂන් සභාවන්හිද ස්වාධීනත්වය අවහිර වන ආකාරයෙන් 2020 වසරේදී සම්මත කර ගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය මගින් සියළු බලතල ජනාධිපති ධුරය වෙත සංකේන්ද්‍රණය කොට තිබිණි. මේ තත්ත්වය වෙනස් කොට යහපත් පාලන මූලධර්ම අනුව රට පාලනය කිරීම සඳහා 21 වන සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගැනීමටද රනිල් වික්‍රමසිංහ විසින් කටයුතු කළේය.

ජනතාවට ‘තිත්ත කසාය’

මේ වන විටත් ශ්‍රී ලංකාවේ විදේශීය ණයකරුවන් වෙත ණය ආපසු ගෙවීමට නොහැකි බව ප්‍රකාශ කොට තිබිණි. මේ නිසා විදේශීය බැංකු අප රටේ බැංකු විසින් නිකුත් කරන ණයවර ලිපි පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලද අතර, අපට සිදු වූයේ අත්පිට මුදලට භාණ්ඩ ආනයනය කිරීමටය. අන්තර්ජාතික සහයෝගිතාවය යටතේ ලබා දුන් ද්වි පාර්ශ්වික ණය යටතේ ආරම්භ කර තිබූ සියළු සංවර්ධන වැඩ කටයුතු එම හවුල් කරුවන් විසින් නවත්වා දමන ලදී. වෙනත් කිසිදු ආයතනයක් විසින් ශ්‍රී ලංකාවට ණය ලබා නොදෙන තත්ත්වයක් යටතේ, එකම විකල්පය වූයේ ‘අවසාන ණය දෙන්නා’ ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමය.
කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට ඇතුළත් වීම යනු එක්තර ආකාරයක එම රටේ ජනතාවට ‘තිත්ත කසායක්’ පානය කරන්නට සැලැස්වීම වැනිය. ශ්‍රී ලංකාව මින් පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි එම් එෆ් ) සමග ගිවිසුම්ගතව, ආර්ථිකය කළමනාකරණය කිරීමට ක්‍රියා කොට තිබිණි. නමුත්, ඒ ප්‍රතිසංස්කරණ නිසා ජනතාවට ඇති වන පීඩනය හේතුවෙන් රටේ දේශපාලන වෙනස්වීම් ඇහිවීමෙන් පසු අයි එම් එෆ් ගිවිසුම අත හැර දැමීමට ජනප්‍රියවාදී පාලකයෝ ක්‍රියා කළහ. මෙයට ආසන්නතම උදාහරණය වන්නේ 2019 දී බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් අයි එම් එෆ් ගිවිසුමෙන් ඉවත් වීමයි. 2022 ජූලි මාසයේ ජනාධිපති ධුරයත්, මුදල් අමාත්‍ය ධුරයත් භාරගත් රනිල් වික්‍රමසිංහ, නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් විස්තීර්ණ ණය පහසුකම යටතේ ණය මුදලක් ලබා ගැනීම හැර වෙනත් විසඳුමක් නැති බව සෙසු දේශපාලන නායකයන් වෙත එත්තු ගන්වා පොදු සම්මුතියක් ඇති කර ගැනීමට සමත් විය.

වෙනදා නම් අයි එම් එෆ් වෙති ණය ලබා ගැනීම එතරම අපහසු කාර්යයක් නොවීය. නමුත්, ශ්‍රී ලංකාව තමන්ට ණය ආපසු ගෙවීමට ශක්තියක් නැති බව ප්‍රකාශ කොට තිබූ බැවින්, ණය කරුවන් සමග සාකච්ඡා කොට දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟතාවයක් ඇති කර ගන්නා ලෙස මෙවර අයි එම් එෆ් විසින් ශ්‍රී ලංකාවට දන්වන ලදී. විස්තීර්ණ අරමුදල යටතේ ණය පහසුකම් ලබා දීම පිළිබඳව සලකා බැලිය හැක්කේ ඉන් අනතුරුව පමණක් බව දන්වනු ලැබීය.
මෙහිදී, එක් පැත්තකින් දේශීය වශයෙන් පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය විය. එනම්, දේශීය මූල්‍ය ආයතනවලින් රජය විසින් ලබා ගත් ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයක් ඇති කර ගැනීමයි. බැංකු කඩා නොවැටෙන සේ ඉතා සීරු මාරුවෙන් එම කටයුත්ත සිදු කළ යුතුව පැවතුණි. විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ හැකි වූයේ එම කඩ ඉම ජය ගැනීමෙන් පසුවය. මන්ද යත්, අප ලබා ගත් ණය සඳහා විදේශීය ණය හිමියන්ගෙන් සහනයක් අපේක්ෂා කරන්නේ නම්, දේශීය ණය හිමියන්ගෙන්ද එම සහනය ලබා ගෙන ආදර්ශයක් දීම විදේශීය ණය හිමියන් විසින් අපේක්ෂා කළ බැවිනි.

Social Sharing
අවකාශය පුවත්