ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යසනයක්. මේ ණය අරගෙන ජීවිතේ ගොඩදාගත්ත මිනිස් ප්‍රාණියෙක් සොයා ගැනීම හරිම අමාරු වැඩක්. හැබැයි මේ ප්රශ්නය නිසා සියදිවි හානිකරගත් පුද්ගලයින් ඕනෑ තරම් සොයාගැනීම අසීරු නැහැ. අධික පොලියක් මත ලබාදෙන මෙම ණය මුදල් දුප්පතුන් තවත් දුප්පත් කමට හෙළනවා. හැටන් කොටගල නගරයට ආසන්න වතු ගමකදී තමයි අපිට එස් සෙල්වි මහත්මිය හමුවන්නේ. ඇයට සහ දරුවාට නොතෙමී ඉන්න අඩුම තරමින් ගෙයක් හෝ නැහැ. ගෙදර වෙනුවට තිබෙන්නේ සිමෙන්ති ගල් උළු කැබලි ලෑලි හේත්තුකරලා හදාගත්ත කූඩාරමක් වගේ ගෙයක්. ඉතිං සෙල්විගේ කතාව අහන්න..
මම මෛදිලී කියලා කෙනෙක්ට ණය අරගෙන දුන්නා. එයා කිව්වා මට ණයක් අරගෙන දෙන්න, මම ඔයාටත් අරන් දෙන්නම් කියලා. එයාට දෙවතාවක් ණය අරන් දුන්නා. එයත් මට ණයක් අරන් දුන්නා. ඒක මම ගෙවලා ඉවරයි. ඊට පස්සේ තව සතියක ණයක් ගත්තා. නමුත් මම ණය අරන් දුන්න කෙනා ඒ ණය දෙකම ගෙවල නැහැ. එයා මට නොකියම කොළඹ ගියා. මම එයාගෙ ගෙදරට යද්දී අම්මා, දුව තමයි හිටියේ. ඒ අයට පණිවිඩේ කිව්වා මේ විදිහට ණය එකතු කරන්න එන ‘සර්’ ලා බනිනවා, මම මොකද කරන්නේ කියලා. ඒ අය කිව්වා අපිට නෙවෙයිනෙ ණය අරන් දුන්නෙ එයාටම කතා කරන්න කියලා. ඊට පස්සේ මම කතා කරද්දී එයා මගේ ඇමතුම්වලට පිළිතුරු දුන්නේ නැහැ. වෙන අයගේ ඇමතුම්වලට පිළිතුරු දෙනවා. මම ඒක ණය එකතු කරන්න එන ‘සර්’ලට කිව්වා. එයාලා මාව විස්වාස කළේ නැහැ. ඔවුන් හැමදාම ගෙදර ඇවිත් මට කරදර කරනවා. පස්සේ මම ඒ අයට කිව්වා ” සර්, මට කරදර කරන්න එපා. අපේ ගෙදර මහත්තයා ප්‍රශ්න ඇති කරනවා. එයා මේවට අකමැතියි කියලා.” ඔවුන් කිව්වේ “ඒක අපිට වැඩක් නැහැ. අපේ සල්ලි දෙන්න. අපි යන්නම් කියලා.” එක දවසක් මේ අය රෑ 8.30-9.00ට විතර ආවා. එදා මහත්තයා ගෙදර හිටියා. මහත්තයා මගෙන් ඇහුවා, “කාට ද ණය අරන් දුන්නේ?” කියලා. මම ඇත්තම විස්තරය කිව්වා.
ඊට පස්සේ ණය එකතු කරන්න එන ‘සර්’ ලා ගෙදර ඇවිත් මෙහෙ හිටියා. මම ගෙදර ළමයි නිදි කරවලා සල්ලි දුන්න ගෙදරට එයාලව (ණය එකතු කරන අය) එක්කන් ගියා. මේ අය මට කිව්වා ඒ වෙලාවේම සල්ලි දෙන්න කියලා. මට රස්සාවක් නැහැ. මහත්තයා කුලී වැඩ කරන්නේ. අපිටම කන්න බොන්න අමාරුයි කියලා මම කිව්වා. ඒක එයාලා ඇහුවේ නැහැ. “දැන්ම සල්ලි රු. 25000 ක් තියන්න. අපි උදේටත් එනවා.” කියලා බැනලා ගියා. ඊට පස්සේ පහුවදා ‘හෙඩ් ඔෆිස්’ එකෙන් ඇවිල්ලා තිබුණා. ආවම මම කිව්වා “මට සල්ලි ඉල්ලලා කරදර කරනවා. මහත්තයා ළමයිනුත් එක්ක ගෙදරිනුත් එලවයි මාව” කියලා. එයාලාට ඒවා වැඩක් නැහැ. කොහොමහරි මේ සල්ලි ගෙවන්න කියලා කිව්වා. මම එතකොට කිව්වා මට ගෙවන්න විදිහක් නැහැ සර් කියලා. ඊට පස්සේ තමයි මම ඇහුවේ, මම මොනා හරි කර ගත්තොත් ණය අවලංගු කරනවද කියලා. මේ ණය ගෙවලා කර ගන්න ඕන දෙයක් කර ගන්න කිව්වා. පස්සේ මම කිව්වා ගිනි තියා ගෙන හරි වහ බීලා හරි මැරෙනවා කියලා. එයාලා විශ්වාස කළේ නැහැ ඒක. එයාලා කිව්වේ හෙටත් එනවා. සල්ලි දෙන්න කියලා. මම රෑ එළිවෙනකම් කල්පනා කළා. මොකද කරන්නෙ කියලා. ගෙදරත් රණ්ඩු. පස්සෙ මම සිරුරට ගිනි තියා ගත්තා. මට හොඳටම අමාරුවුණා. දැන්නම් සනීපයි. ඒත් මේ ලප කැලැල් හැමදාම තියෙයි. මොනාකරන්නද? තවමත් මම ණය ගෙවනවා.