හරීන්ගේ සිද්ධිය වැඩකරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක්. – රනිල් වික්‍රමසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට කරන හිරිහැරයක් ලෙස හරීන් ප්‍රනාන්දු මහතාගේ සිද්ධිය තමන් දකින බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් යැයි මුලින් පැවසුවත් මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතා කළින් සිටි අමාත්‍යාංශයේ සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරු බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ නිසා මේ සිද්ධිය ගැටලු සහගත බවද ඔහු කියා සිටියි.

මෙය වැඩ කරන මන්ත්‍රීවරයෙකුට කරන හිරිහැරයක් ලෙස තමන් සලකන බවද ඔහු කියා සිටියි.

එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් තොරතුරු තිබේනම් ඒවා රටට හෙළි කළ යුතු බවත් නමුත් එය සිදු වී නැතැයිද හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27) දින සවස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් විමසීම සදහා පෞද්ගලික රෝහල වෙත ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟු පැනයකට පිලිතුරු දෙමිනි.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මේ වනවිට සිටින්නේ කොළඹ පෞද්ගලික රෝහලකය. ඒ ඔහුගේ නිදන්ගත රෝගයක් වෙනුවෙන්  ප්‍රතිකාර ලබා ගැනීමටය.

පහුගියදා පාර්ලිමේන්තුවේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ හරීන් ප්‍රනාන්දු මහතාට ඊට පසු දිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබුණි. ඒ ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

නමුත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොගිය අතර පෞද්ගලික රෝහලකට ඇතුලත් වුයේ ඔහුගේ නිදන්ගත රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමටය.

-ශානි-

Social Sharing
නවතම