පාරිභෝගික තැන්පතුවට විදුලි සමාගම්වලින් පොලී ගැනීමේ සැලසුම්!

විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතු සදහා පොලි ගෙවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහජන සේවා උපයෝගිතා කොමිසම විසින් ආරම්භ කර තිබේ.

සේවා දායක සමාගම  නැතහොත්  බලපත්‍ර ලාභියා වෙත විදුලි පාරිභෝගිකයකු විසින් ගෙවනු ලබන  ආරක්ෂිත තැන්පතුවට පොලීයක් ගෙවිය යුතු බව ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 වගන්තිය යටතේ දැක්වෙන බවයි ශ්‍රී ලංකා මහජන සේවා උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක පවසන්නේ.

ඒ  සදහා ගෙවිය යුතු පොලිය තීරණය කීරීම ආදී ගැටළු විසදා ගැනීම වැනි හේතු නිසා, පොලී ප්‍රතිලාභ ගෙවීමේ තිරණය ක්‍රියාවට නැගීම ප්‍රමාද වුවත්  අද වන විට ඒ සියලු ගැටළු නිරාකරණය කර ගැනීමට හැකිවී තිබෙන අතර  පිළිගත් හා පාරදෘශ්‍ය ක්‍රමයකට ඒ පොලී අනුපාත තීරණය කිරීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ බවයි ඔහු පවසන්නේ.

“මේ වසර සදහා නියමිත පොලිය සියයට 8.68ක් බව කොමිෂන් සභාව විසින් පසුගියදා තීරණය කළා.  එම පොලිය මත පදනම්ව විදුලි බල සේවා සපයන බලපත්‍ර ලාභී ආයතන විසින් පොලී ප්‍රතිලාභය ගණනය කර සිය පාරිභෝගිකයාට ගෙවිය යුතු වෙනවා. අද ආරම්භ වන්නේ මේ සුවිශේෂි ප්‍රතිලාභ ක්‍රමයයි.”

සභාපතිවරයා ඒ බව සදහන් කර තිබුනේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  අප්‍රේල් 7 බදාදා පැවැති    ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ විදුලි පාරිභෝගික තැන්පතු සඳහා පොලි ගෙවීමේ සමාරම්භක උත්සවය අමතමිනි.

බෙදාහැරීම් බලපත්‍ර ලාභියකු වන ලංකා විදුලි පෞද්ගලික සමාගම සිය පාරිභෝගිකයන්ට පොලී ගෙවීම ඒ අනුව ඊයේ දින  සිට ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා මහජන සේවා උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක සදහන් කරන්නේ   පාරිභෝගික තැන්පතු මත පොලීය ගෙවීමේ ප්‍රතිලාභය හරහා වාර්ෂිකව ලෙකො සමාගම පමණක් රුපියල් ලක්ෂ 420ක් සිය පාරිභෝගික ජනතාවට ප්‍රතිලාභ වශයෙන් ගෙවීමට නියමිත බවයි.

ඉදිරියේදී අනෙක් බලපත්‍ර ලාභින් මෙම පොලි ගෙවීමේ වැඩසටහන ක්‍රියාවට නගනු ඇතැයි සභාපතිවරවා විශ්වාසය පල කරයි.

“අපි බලාපොරොත්තු වෙනවා. අනෙකුත් විදුලිය බෙදාහැරීම් බලපත්‍ර ලාභින් ද මෙම පොලී ප්‍රතිලාභ ක්‍රමය ඉදිරියේදී ක්‍රියාත්මක කළ විට වාර්ෂිකව රුපියල් කෝටි 120ක පමණ මුදලක් විදුලි පාරිභෝගික ජනතාව අතට ගලා යනවා,” යි ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Social Sharing
නවතම