මේක දුප්පතුන්ට මරණය ගේන ණය ක්‍රමයක් : ක්ෂුද්‍ර මූල්‍ය ණය – පර්‍යේෂිකා අමාලි වෙදගෙදර      

microfinance crisis in sri lanka Amali Wedagedara

ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රචලිත වෙන්නෙ දුප්පතුන් දිරිගැන්වීමේ ක්‍රමයක් විදිහට. නමුත් මේ ක්‍රමය හරහා අද වන විට බොහෝ දෙනෙක් ණය උගුලක හිර වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ පර්‍යේෂණ අත්දැකීම් කොහොමද?

කලකට පෙර අපි නව ලිබරල්වාදය පිළිබඳ අධ්‍යන කණ්ඩායමක් විදියට වැඩ කළා. එහිදී තමයි මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ. මෙම සාකච්ඡාවලදි ක්ෂුද්‍ර මූල්‍යකරණය බිම් මට්ටමේ කරගෙන යන ආකාරය පිළිබඳව අපි සාකච්ඡා කළා. මේක 2012 දී පමණ සිදු වුණ දෙයක්. අපි මුලින්ම මේ ගැන ලොකු අවධානයක් යොමු කළේ නැහැ. පසුව 2016 දී පමණ ක්ෂුද්‍ර මූල්‍ය ගැන මම හිතන්නේ මාධ්‍ය මගින් විස්තර එළියට එන්න පටන් ගත්තා. ඊට පෙර අහිලන් කදිරගාමර් වගේ පුද්ගලයින් යාපනය ප්‍රදේශයේ මේ තත්ත්වය ගැන අධ්‍යයන කටයුතු කරගෙන ගියා. අපි දන්නා ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නෙ ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කරගෙන විවිධ ගෘහාශ්‍රිත ව්‍යාපාර වලට දෙන ණයක්. ඉතින් මුල් වරට 2017දී පමණ මම කතා කළා මඩකළපුවෙ සහ නුවරඑළියෙ කාන්තාවන් පිරිසකට. මම දැකපු දේ තමයි මේ ණය ලබාගන්නා පවුල් දරිද්‍රතාවයේ පතුළේ සිටින්නේ.

මේ පුද්ගලයින් ණය ගන්නේ ව්‍යාපාරයක් කරන්න කියලා. හැබැයි ණය අරගෙන ඊළඟ මාසයේ ඉඳලා ණය ගෙවීම පටන් ගන්නවා. ඉතින් මිනිසුන්ට ආදායම් උත්පාදනය කරගන්න කාලයක් ඉතුරු කරන්නේ නැතුව තමයි මේ ණය නැවත අයකිරීම කරන්නේ. අපි සාමාන්‍යයෙන් ජනප්‍රිය කතිකාව තුළ කතා කරන්නේ ව්‍යවසායකයන් ඇති කරන්න ණය දීම ගැන. ඒ කතිකාවත ඇතුළත නොකියවෙන කාරණා තමයි මේ ණය ක්‍රමය සකසලා තියෙන්නේ කොහොමද? ඒ ක්‍රමය සකස් වෙලා තියෙන ආකාරයත් එක්ක ණය ලබා ගන්නා ආදායම් කාණ්ඩය කොතරම් අවදානම් ජන කොට්ඨාශයක් ද වැනි දේවල්.

මේ මම කියන කණ්ඩායමේ බොහෝ දෙනෙක් ගොවියන්, ධීවරයන් නැත්නම් ගෘහාශ්‍රිතව කුඩා නිෂ්පාදන සිදු කරන කාන්තාවන්. ඉතින් මිනිස්සු තමන් කරගෙන යන ආර්ථික කටයුතු දියුණු කර ගන්න බලාපොරොත්තුවෙන් තමයි මේ ණය ගැනීමට පෙළඹෙන්නේ.

හැබැයි ඔවුන් ණය ගන්න කොට අර කියන මුදල් අවශ්‍යතාවයන්ට අමතරව, ඒ ණය ගැනීම මොනතරම් බැරෑරුම් කාර්යයක් ද කියන දේ ගැන අදහසක් නැහැ. ඔවුන් හිතන්නේ තමන්ට මේ ලැබෙන ආදායමින් ලබාගන්න ණය ගෙවා ගෙන යන්න පුළුවන් වෙයි කියලා. නමුත් සමහර ණය තියෙනවා සති වාරික. සමහර ණය මාසික වාරික. ආර්ථික ක්‍රියාකාරකමක් සඳහා ණයක් ඉල්ලුම් කරනවා රුපියල් ලක්ෂයක් අවශ්‍යයි කියලා. නමුත් ඒ පුද්ගලයාට ණය ලැබෙන්නේ පළමු වාරිකය කපාගෙන, නැත්නම් රක්ෂණය සඳහා තියෙන මුදල කපාගෙන, එතකොට අවශ්‍ය කරන 100,000 ක මුදල අතට ලැබෙන්නේ නැහැ. අවශ්‍යතාවයට සරිලන ණය මුදලක් නෙවෙයි පුද්ගලයාගේ අතට ලැබෙන්නේ. මේවගේ බොහෝ දේවල් මේ ණය ක්‍රමය එක්ක ගැටගැහිලා තියෙනවා.

මේ ණය ගත්තට පස්සේ අසනීප තත්ත්වයන් කාලගුණ තත්ත්වයන් පවා බලපාලා තියෙනවා ණය ගෙවීමට නොහැකිවීමට. එහෙම වුණාම ණය වැලක හිරවෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඉතිං ඇග කනකර ආභරණ පවා උඟසට යනවා මේ ණය ගෙවන්න. එහෙම කරලත් බෑ. ඒ මොකද මේ ණය සඳහා අය කරන පොලිය අති විශාල‍යි.

අපි දන්න ආකාරයට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් හිමි වෙලා තියෙනවා. නමුත් අද වනවිට එම ක්‍රමය හරහා මේ වගේ අර්බුදයකුත් නිර්මාණය වෙලා තියෙනවා.

ක්ෂුද්‍ර මූල්‍ය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල වැනි ලෝක මට්ටමේ අන්තර්ජාතික සංවිධාන දරිද්‍රතාවය දුරලන, කාන්තාවන් බලගන්වන ක්‍රියාවලියක් ලෙස පිළිගැනීමට ලක් කළ දෙයක්. 2006 දී දුප්පත්කම දුරලීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමය හඳුන්වා දුන් මොහොමඩ් යුනුස් කියන බංග්ලාදේශ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයාට ‘ග්‍රාමීන්’ බැංකු මාදිලිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි වෙනවා. එයින් පේනවා මෙයට හිමිවුණු පිළිගැනීම. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “ක්ෂුද්‍ර මූල්‍ය වසරක්” පවා නම් කරනවා. මම හිතන්නේ ක්ෂුද්‍ර මූල්‍ය පිළිබඳ පවතින, සංවර්ධන ක්‍රියාවලියට උරදිය හැකි ක්‍රමයක් ය යන මේ ජනප්‍රිය මතය තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ලංකාවේ වුණත් කාන්තාවන් ආර්ථික වශයෙන් බලගන්වන්න, දුප්පත්කම දුරලන්න ඔවුන් ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා කියන පිළිගත් මතයත් එක්ක ගැටෙන එක අපි කරමින් ඉන්න සහ ඉදිරියටත් කරන දෙයක්.

ඇත්තටම මේ ජනප්‍රිය මතය පිටුපස සැඟවුණු යතාර්ථය තමයි සෑහෙන ලොකු ප්‍රාග්ධනයක් ගලා එනවා මේ ක්ෂේත්‍රයට මුදල් ආයෝජන විදිහට කියන එක. මම කිව්වොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ජාලය, වාණිජ බැංකු, ධනවත් පුද්ගලයින් තමන්ගේ කොටස් ලෙස ආයෝජනය කරන මුදල්, උතුරු යුරෝපයේ සංවර්ධිත රටවල්වල විශ්‍රාම වැටුප් අරමුදල් ආයෝජනය කරන ක්ෂේත්‍රයක් විදිහට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය අද වන විට වර්ධනය වෙලා තියෙනවා. ස්වීඩනය වැනි රටවල් විශ්‍රාමික අරමුදල් LOLC වැනි ආයතනවල ආයෝජනය කරලා තියෙනවා.

තත්ත්වය මේක උනාට මේ වෙනකොට මානව විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින්, ආර්ථික – දේශපාලන විද්‍යාඥයින් මේ පිළිබඳ සමීක්ෂණ කරලා ඔවුන් ප්‍රකාශ කරනවා මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියලා. එක් උදාහරණයක් තමයි මොහොමඩ් යුනුස් පළමුවෙන් ” ග්‍රාමීන් බැංකුව” බංග්ලාදේශයේ අත්හදා බැලීමට පටන් ගත් ගම, ඒකෙත් අමීනෝ රහ්මාන් කියන පුද්ගලයා ඒ ගැන කරපු පර්යේෂණයකට අනුව ඒ ගම තුළ වත් මේක සාර්ථක වෙලා නැහැ. බංග්ලාදේශයේ එවැනි පර්යේෂණ කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ කල්කටාවල, ඊට පස්සේ 2010 දී පමණ ආන්ද්‍ර ප්‍රදේශයේ. ආන්ද්‍රා කියලා කියන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය සාර්ථකව මෙහෙයවගෙන යනව කියල පෙන්වපු ප්‍රදේශයක්. හැබැයි ඊට පස්සේ කෙටි කාලයක් තුළ ආන්ද්‍රා ප්‍රදේශයෙන් සෑහෙන වාර්තා වෙන්න පටන් ගත්තා කාන්තාවන්ගෙන් සියදිවි නසාගැනීම්. දැන් අද වෙනකොට අපි ඒ අවධිය නම් කරනවා ආන්ද්‍රා ප්‍රදේශයේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය කියලා. පසුව ඒ ආන්ද්‍රා ප්‍රාන්තයේ ආණ්ඩුවට මේ ප්‍රශ්නයට සෘජුව මැදිහත් වෙලා, ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන දැඩි ලෙස නියාමනයට ලක් කරලා, ලබා දීපු ණය පවා අහෝසි කරන්න සිදු වුණා.

අවසාන වශයෙන් මට කියන්න මේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය නිසා ලංකාවේ තත්ත්වය කොහොමද?

මම හිතන්නේ අපි විශාල වශයෙන් මේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට අවධානය යොමු කරන්න පටන් ගත්තෙ උතුරු පළාතේ කාන්තාවන්, කාන්තා සංවිධාන සහ සමූපකාරවල මැදිහත්වීමෙන් මිනිස්සු පාරට බැහැලා කරපු විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයන් සමග. ඊට පස්සේ මම හිතන්නේ ඒ කාලයේ ආණ්ඩුවටත් සිදු වුනා මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. එහි උච්චතම අවස්තාව තමයි 2018 පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණා ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධව. ඉතින් අපිට මේ ගැටලුව කොයි තරම් ගැඹුරට විහිදිලා තියනවා ද කියන එක ගැන තේරුම් ගන්න පුළුවන් ඒ කාලෙ මතු වුණ අදහස් එක්ක. පාර්ලිමේන්තු විවාදයේදී මතුවුණු එක කාරණයක් තමයි 2018 වනවිට 168ක් පමණ කාන්තාවන් සියදිවි නසාගෙන තියෙනවා කියලා කියන එක.  අද වෙනකොට ගණන් බලලා තියෙන්නෙ විදිහට 200කට වැඩි කාන්තාවෝ ප්‍රමාණයක් ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා තමන්ගේ ජීවිතය අහිමි කරගෙන තියෙනවා කියලා. සංඛ්‍යාලේඛණ විදියට 2,800,000ක් මිනිසුන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ සිරවෙලා ඉන්නවා, එයින් 2,400,000 කාන්තාවන් බව හඳුනාගෙන තියෙනවා.

කේ. සංජීව

Social Sharing

Related posts