
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව වසා දමා මේ වන විට වසර 30කට අධික කාලයක් ගතවී ඇත. මෙම ජාතික සම්පත දිනෙන් දින විනාශයට පත්වෙමින් පවතී. බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම මෙන්ම වත්මන් ආණ්ඩුවද මැතිවරණ සමයේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කරන බවට පොරොන්දු ලබා දී තිබුණි. එහෙත් එම පොරොන්දු මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
කන්තලේ සීනි කර්මාන්ත ආයතනය සතු මුළු ඉඩම් ප්‍රමාණය අක්කර 37,000කි. මෙම ඉඩම් තාවකාලික බදු පදනමක් යටතේ වී වගාව සඳහා ගොවීන් වෙත ලබා දෙන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධාන විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.
එම ඉල්ලීම සලකා බැලූ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, සීනි කර්මාන්ත ආයතනය සතු ඉඩම්වලින් අක්කර 10,000ක් තාවකාලික බදු ක්‍රමයක් යටතේ වී වගාව සඳහා ලබා දීමට තීරණය කර ඇත. එම තීරණය ක්‍රියාත්මක කිරීමේ වගකීම කන්තලේ සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලය වෙත පවරා ඇත.
කෙසේ වෙතත්, මෙම ඉඩම් බෙදාදීමේ ක්‍රියාවලියේදී විශාල වංචා සහ දූෂණ සිදුව ඇති බවට ප්‍රදේශයේ ස්වාධීන ගොවි සංවිධාන චෝදනා කරයි. විශේෂයෙන්ම, රජයට හිතවත් පුද්ගලයන්ට එක් අයෙකුට අක්කර 50කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති බවට ගොවි නායකයෝ චෝදනා කරති.
මෙම චෝදනා සම්බන්ධයෙන් කන්තලේ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිල්ලක් යොමු කර ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
