
මේ මස 24 වැනි දින සිට දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිත චින්තන ධර්මදාසගේ ‘අභිසාරි’ චිත්‍රපටයට සමගාමීව පැවැත්වෙන ‘අභිසාරි’ ඡායාරූප ප්‍රදර්ශනය ජූලි 14 වැනි දින පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය. කොළඹ ග්‍රීන් පාත්හි, මහජන පුස්තකාලය ඉදිරිපිට වීදියේ මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි.
දෙස් විදෙස් සම්මානලාභී ඡායාරූප ශිල්පී දේවා ජයවර්ධන විසින් ‘අභිසාරි’ තේමාව යටතේ නිර්මාණය කළ සුවිශේෂී ඡායාරූප එකතුවක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතය සහ ඔවුන්ගේ ඓතිහාසික ලැගුම්පොළවල් මෙම ඡායාරූප නිර්මාණ සඳහා පසුබිම් කරගෙන ඇත.
‘අභිසාරි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන පබෝධා සංදීපනී ද මෙම ඡායාරූප එකතුවේ දැකගත හැකිය. අභිසාරිකාවගේ විවිධ ස්වරූප කැමරා කාචය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස මෙම ඡායාරූප එකතුව හැඳින්විය හැකිය.
මෙම වීදි ඡායාරූප ප්‍රදර්ශනය ඉදිරි දින කිහිපය පුරාම කොළඹ නගරයේ ස්ථාන කිහිපයක පැවැත්වීමට නියමිත අතර, කොටුව දුම්රිය ස්ථානය සහ ගාලු මුවදොර පිටිය ඒ අතර ප්‍රධාන ස්ථාන වේ.
සමාජයේ අපහාසයට හා අපවාදයට ලක්වන කාන්තාවන්ගේ ජීවිත අත්දැකීම් කේන්ද්‍ර කරගත් මෙම නිර්මාණාත්මක කතිකාව පිටුපස සිටින්නේ Stand Up Movement Lanka සමාජ ක්‍රියාකාරී සාමූහිකයයි.
