
2026 වසරේ මුල් මාස හතර තුළ ශ්රී ලංකාවේ භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 8,228 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 6,573ට සාපේක්ෂව සියයට 25.1ක වර්ධනයක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව විසින් නිකුත් කළ 2026 වසරේ මුල් මාස හතරේ විදේශ අංශයේ ක්රියාකාරිත්වය පිළිබඳ වාර්තාවට අනුව, ආනයන වියදමෙන් වැඩිම කොටස අන්තර් භාණ්ඩ සඳහා වැය කර ඇති අතර එය ඩොලර් මිලියන 4,700ක් ලෙස සටහන් වී තිබේ. මෙම අගය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 3,787ට සාපේක්ෂව සියයට 24.1ක ඉහළ යාමකි.
අන්තර් භාණ්ඩ අතරින් වැඩිම වියදම ඉන්ධන ආනයනය සඳහා දරා ඇති අතර, එය ඩොලර් මිලියන 2,168ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ මුල් මාස හතරේදී එම වියදම ඩොලර් මිලියන 1,411ක් වූ අතර, මේ වසරේ එය සියයට 53.6කින් ඉහළ ගොස් ඇත.
විශේෂයෙන්ම පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම ඩොලර් මිලියන 993.3 සිට ඩොලර් මිලියන 1,754.3 දක්වා සියයට 76.6කින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් ගල් අඟුරු ආනයන වියදම ඩොලර් මිලියන 129.4 සිට 114.2 දක්වා සියයට 11.7කින් අඩුවී ඇත.
මේ අතර පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 2,003ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2025 වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 1,508ට සාපේක්ෂව සියයට 46.7ක වැඩිවීමකි.
පාරිභෝගික භාණ්ඩ අතරින් වැඩිම වියදම පෞද්ගලික රථවාහන ආනයනය සඳහා සිදුකර ඇති අතර, එය ඩොලර් මිලියන 621ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ එම අගය ඩොලර් මිලියන 142ක් පමණක් වූ අතර, මේ වසරේ එය සියයට 337ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇත.
එමෙන්ම බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදන, රෙදිපිළි හා උපාංග, සහ විදුලි සංදේශ උපකරණ ආනයන වියදම් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, වෙනත් ආහාර හා පාන වර්ග ආනයනය සඳහා වූ වියදම ඩොලර් මිලියන 629 සිට 612 දක්වා පහත වැටී ඇති අතර, පරිප්පු, ලූනු, අර්තාපල් සහ අනෙකුත් එළවළු ඇතුළත් එළවළු ආනයන වියදමද ඩොලර් මිලියන 165 සිට 134 දක්වා අඩුවී තිබේ.
ආයෝජන භාණ්ඩ හා වෙනත් ආනයන සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 1,525ක් වන අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවේ වාර්තා වූ ඩොලර් මිලියන 1,277ට සාපේක්ෂව සියයට 19.4ක වැඩිවීමකි.
ආයෝජන භාණ්ඩ අතරින් වැඩිම වියදම යන්ත්ර සූත්ර හා උපකරණ සඳහා දරා ඇති අතර එය ඩොලර් මිලියන 934ක් ලෙස සටහන් වී ඇත. එමෙන්ම ප්රවාහන උපකරණ ආනයන වියදම ඩොලර් මිලියන 98 සිට ඩොලර් මිලියන 251 දක්වා ඉහළ යාමද කැපී පෙනෙන වර්ධනයක් ලෙස වාර්තා වී තිබේ.
