
මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 7 මට්ටම දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, එවැනි තත්ත්වයකට පෙර සූදානමක් ලෙස මහ බැංකුව පසුගිය සතිය තුළ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගත් බවයි.
ඉදිරි මාස කිහිපය තුළ වෙළෙඳපොළේ ඉල්ලුම යම් මට්ටමකට පාලනය කරමින් උද්ධමනය වැඩිවීම වළක්වා ගැනීම රටේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය බවද අධිපතිවරයා අවධාරණය කළේය.
“උද්ධමනය වැඩිවීමේ ලකුණු පැහැදිලිව පෙනෙනවා. විශේෂයෙන් තෙල් මිල ඉහළ යාම ප්‍රධාන සාධකයක්. ඒ වගේම පාරිභෝජනයේ සැලකිය යුතු අඩුවීමක් තවමත් දක්නට නැහැ. මේ තත්ත්වය දිගටම පැවතුණොත් උද්ධමනය සියයට 5 ඉක්මවා සියයට 6 හෝ 7 මට්ටමටත් ළඟා විය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
මැද පෙරදිග ගැටුම් කෙටි කාලයක් තුළ සමනය වනු ඇතැයි මුලදී අපේක්ෂා කළද, එය දිගුකාලීන අර්බුදයක් බවට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ද එහි බලපෑම් එල්ලවී ඇති බවද ඔහු සඳහන් කළේය.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා (01) රාත්‍රී විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
