කොටහේන පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඔක්තෝබර් 16 විභාගයට!

පසුගිය වසරේ කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී තරුණයන් දෙදෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඔක්තෝබර් 16 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

සිද්ධියෙන් මියගිය තරුණයකු වන වර්ණ ලක්මාල්ගේ පියා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

පෙත්සමේ සඳහන් වන ආකාරයට, පසුගිය වසරේ මාර්තු 21 වැනිදා කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්ව තිබේ.

මෙම සිද්ධිය හේතුවෙන් තම පුත්‍රයාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරු, රුපියල් කෝටියක වන්දියක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ භාග්‍යා පීරිස් මහත්මියගේ උපදෙස් මත නීතිඥ බී. මරුෂෝ මහතා සමඟ නීතිඥ ගීත කරුණාරත්න මහතා පෙනී සිටියේය.

Social Sharing
නවතම පුවත්