ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සහය!

ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකෙන Regional Comprehensive Economic Partnership (RCEP) සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ගෙන යන රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ට වැදගත් ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වෙත සිදුකළ නිල සංචාරය අවසන් කරමින් කැන්බරාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, RCEP සංවිධානයේ ප්‍රධාන සාමාජික රටවල් දෙකක් වන ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ශ්‍රී ලංකාවේ සාමාජිකත්ව අයදුම්පත සඳහා පූර්ණ සහාය ලබාදීමට එකඟතාව පළ කර ඇති බවයි.

ගෝලීය ජනගහනයෙන් සහ ආර්ථික නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරන RCEP ගිවිසුම ආසියානු පැසිෆික් කලාපයේ රටවල් 15ක් එක්කර ගනිමින් ක්‍රියාත්මක වන ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම ලෙස සැලකේ. එහි සාමාජිකයන් අතර ASEAN කලාපීය රටවල් 10ක් සමඟ China, Japan, South Korea, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව මෙම කලාපීය ආර්ථික ජාලයට එක්වීම තුළින් වෙළෙඳාම, ආයෝජන සහ අපනයන අවස්ථා පුළුල් කර ගැනීම අරමුණු කරගෙන සිටින අතර, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තම සංචාරය එම ඉලක්කය කරා ගමන් කිරීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද වැදගත් එකඟතාවකට පැමිණ ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, එළඹෙන අගෝස්තු මාසයේ සිට රටවල් දෙක අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීමට ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ RCEP සාමාජිකත්වය ශ්‍රී ලංකාවට හිමිවුවහොත්, ආසියානු සහ පැසිෆික් කලාපයේ ප්‍රධාන වෙළෙඳපොළවලට ප්‍රවේශය වැඩිදියුණු කර ගැනීමට මෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ද නව අවස්ථා උදා වනු ඇති බවයි.

Social Sharing
නවතම පුවත්