
වංචාකාරී පිරමීඩ ජාවාරම්, නීතිවිරෝධී තැන්පතු භාරගැනීම් සහ අධික ලාභ ලබාදෙන බවට පොරොන්දු වන මූල්‍ය වංචාවලින් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව “Be Scam Proof” ජාතික දැනුවත් කිරීමේ මෙහෙයුම ඊයේ (02) ආරම්භ කළේය.
මෙම වැඩසටහන කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහි සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රධානත්වය දැරීය.
අදහස් දක්වමින් අධිපතිවරයා සඳහන් කළේ, ජනතාව මූල්‍ය වංචාකරුවන්ගේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම සහ ඔවුන්ගේ මූල්‍ය යහපැවැත්ම ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවයි.
නීත්‍යනුකූල මූල්‍ය ආයතන සහ නීතිවිරෝධී මූල්‍ය ක්‍රම පිළිබඳව ජනතාව සතු දැනුම අඩුවීම වංචාකරුවන්ගේ වාසියට හේතු වන බව පෙන්වා දුන් ඔහු, පිරමීඩ ජාවාරම්, ව්‍යාජ ආයෝජන යෝජනා සහ නීතිවිරෝධී තැන්පතු භාරගැනීම් රටේ ආර්ථිකයට හා දුප්පත්කම පිටුදැකීමේ උත්සාහයන්ට බාධාවක් වන බව අවධාරණය කළේය.
මාසයක් පුරා ක්‍රියාත්මක වන “Be Scam Proof” ජාතික දැනුවත් කිරීමේ ව්‍යාපාරය, මෙරට මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ ජාතික වැඩපිළිවෙළේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන බවද අධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මූල්‍ය වංචා මර්දනය කිරීම මහ බැංකුවට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දුන් ඔහු, මාධ්‍ය ආයතන, මූල්‍ය ආයතන, විදුලි සංදේශ සේවා සපයන්නන් සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.
“Be Scam Proof” ජාතික මෙහෙයුම හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ මූල්‍ය වංචා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අපේක්ෂාව බව ද වැඩිදුරටත් සඳහන් කෙරිණි.
