
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, හෝමූස් සමුද්‍ර සන්ධිය පිළිබඳ අයිතිවාසිකම් සහ විදේශීය වත්කම් නිදහස් කිරීම ඇතුළු මූලික ජාතික අවශ්‍යතා පිළිගන්නා තුරු අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට අත්සන් නොතබන බව ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගාර් ගලිබා ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මේ දක්වා පැවති සාකච්ඡාවලදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධ ඉරානයේ අයිතිවාසිකම්, න්‍යෂ්ටික වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ විදේශීය වත්කම් නිදහස් කිරීම වැනි ප්‍රධාන යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව ගලිබා සඳහන් කර ඇත.
ඉරාන කථානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකාව තවදුරටත් ඉරාන වරායන්ට සීමා පනවමින් සිටින අතර, පසුගිය සතියේදී ඉරානයේ ආර්ථික මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වූ බවයි. එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති හේතුවෙන් දෙරට අතර එකඟතාවකට පැමිණීම ප්‍රමාද වී ඇති බවටද ඔහු චෝදනා කර තිබේ.
මේ අතර, ඉරානයේ උත්තර්තර නායක මොජ්ටබා කමේනිගේ ප්‍රධාන උපදේශකයකු ද ඩොනල්ඩ් ට්‍රම්ප් රාජ්‍යතාන්ත්‍රික වටිනාකම් පාවා දෙන බවට චෝදනා කර ඇතැයි වාර්තා වේ.
සම්පූර්ණයෙන්ම සාමකාමී අරමුණු සඳහා භාවිත කරන බව ඉරානය පවසන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අමෙරිකාවේ නිල එකඟතාවය ලබා ගැනීම ඕනෑම අනාගත ගිවිසුමක අත්‍යවශ්‍ය කොන්දේසියක් බව ද ඉරාන රජය අවධාරණය කර තිබේ.
අනෙක් අතට, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වෙළෙඳ නෞකා සඳහා ඉරානය බාධා පමුණුවන බවට අමෙරිකාව චෝදනා කළද, ඉරාන ආරක්ෂක හමුදාව එය ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් නිකුත් කළ නිවේදනයකට අනුව, ඊයේ උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළ තෙල් ප්‍රවාහන නෞකා සහ බහාලුම් නෞකා ඇතුළු වෙළෙඳ නෞකා 28ක් නිසි අවසර සහ බලපත්‍ර ලබාගෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව සහ බාධාවකින් තොරව ගමන් කර ඇති බව සඳහන් කර ඇත.
මෙම තත්ත්වය මධ්‍යයේ ඉරානය සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් පවතින මතභේද තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, දෙරට අතර අපේක්ෂිත එකඟතාවයකට පැමිණීම තවදුරටත් අභියෝගාත්මක වනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
