තවත් IMF වැඩසටහනකට ගියද වත්මන් ආණ්ඩුව සමග ශ්‍රී ලංකාවට ගොඩ ඒමක් නැත – අජිත් පැරකුම් ජයසිංහ


අතීතයේදී තමන්ගේම සමච්චලයට ලක් වූ ‘මිල සූත්‍ර’ අගය කරමින් වත්මන් ජනාධිපතිවරයා සිදු කරන ප්‍රකාශයන් ඉතා වැදගත්ය. ඉන්ධන හා විදුලිය මෙන්ම ජල ගාස්තු පවා තීරණය විය යුත්තේ එහි සැබෑ නිෂ්පාදන පිරිවැය මත පදනම්වය. එහෙත්, රජය ඉන්ධනවලින් විශාල බදු ආදායමක් උපයා ගන්නා බව ද ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. එපමණක් නොව, රජය හැකි සෑම ආකාරයකින්ම ජනතාවගෙන් බදු අය කරමින් සිටියි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රතිපත්තියේම දිගුවකි.

එසේම, රජය අතිවිශාල වශයෙන් දේශීය වෙළඳපොළෙන් ද ණය ගනිමින් සිටියි. භාණ්ඩාගාරය උතුරන්නට මුදල් තිබෙන්නේ මේ ණය කන්ද නිසාය. පස්වැනි සහ හයවැනි ණය වාරික මුදාහරිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ප්‍රකාශ කළේ, ඩිට්වා සුළි කුණාටුව සහ මැද පෙරදිග යුදමය කම්පන හමුවේ අත්‍යවශ්‍ය සහන සැලසීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යම්තාක් දුරකට නම්‍යශීලී කිරීම සුදුසු බවයි. එහෙත්, අධික බදු බරින් මිරිකී සිටින ජනතාවට සහන සැලසීමට රජයට කිසිදු සැබෑ සූදානමක් ඇති බවක් නොපෙනේ.

2025 වසරේදී වාර්තා වූ 5%ක ආර්ථික වර්ධනය සඳහා වාහන ආනයන ලිහිල් කිරීම විශාල වශයෙන් දායක විය. කෙසේ වෙතත්, 2026 වසරේදී ආර්ථික වර්ධනය 3%ක් දක්වා මන්දගාමී වනු ඇතැයි IMF පුරෝකථනය කර තිබේ. ආනයන සීමා පැනවීමෙන් වළකින ලෙස IMF නිර්දේශ කර තිබියදීත්, රජය දැනටමත් වාහන ආනයනය අධෛර්යවත් කිරීමේ අරමුණින්ම ඒ මත අධික බදු පනවා ඇත.

IMF ණය වාරික ලබා දීම සඳහා සිදු කරන ඇගයීම්වලදී, ගල් අඟුරු ආනයනය වැනි ක්ෂේත්‍රවල රජයට එරෙහිව එල්ල වන බරපතළ දූෂණ චෝදනා ප්‍රමාණවත් පරිදි සැලකිල්ලට ගෙන නොමැත. බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි උත්පාදනය අඩාල වීමත්, එය ප්‍රතිපූරණය කිරීමට අධික පිරිවැයක් දරා ඩීසල් දහනය කිරීමට සිදු වීමත් සමස්ත ඉන්ධන ආනයන බිලට සහ මිල ගණන්වලට සෘජුවම බලපාන බව විචාරකයෝ පෙන්වා දෙති.

ලංකා විදුලිබල මණ්ඩලය කොටස්වලට කඩා වෙන් කර ඇති මුත්, විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ තවමත් සම්පූර්ණ කර නොමැති බව IMF ආයතනය ද නිරීක්ෂණය කර තිබේ. හුදෙක් ආයතන කෑලි කැඩීමෙන් පමණක් විදුලිබල ක්ෂේත්‍රය කාර්යක්ෂම කළ නොහැකිය. රජය අදානි වැනි විදේශීය ආයෝජන කෙරෙහි දැඩි විරෝධයක් දක්වමින්, රාජ්‍ය සහ දේශීය ආයෝජන කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් මෙම අර්බුදය තවත් සංකීර්ණ වී ඇත.

රාජ්‍ය මූල්‍ය සහ ආයෝජන කළමනාකරණ ප්‍රතිසංස්කරණ ද අපේක්ෂිත මට්ටමින් සම්පූර්ණ වී නොමැති බව IMF හි පැහැදිලි නිරීක්ෂණයයි.

රාජ්‍ය මූල්‍යයේ ප්‍රාථමික ශේෂය (Primary Balance) දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක අතිරික්තයක් ලෙස පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාව IMF විසින් නැවතත් අවධාරණය කර තිබේ. ඊට සමගාමීව, මිල ස්ථායීතාවට ප්‍රමුඛතාව දෙමින් මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම, නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වා ගැනීම සහ ගෙවුම් ශේෂය තුලනය කිරීම සඳහා පනවා ඇති රාජ්‍ය පාලන ක්‍රියාමාර්ග ඉවත් කිරීම ද අත්‍යවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති. මේවා ප්‍රායෝගික භූමියේදී ක්‍රියාත්මක කිරීම අතිශය දුෂ්කරය. රජය සහ මහ බැංකුව ඒ සඳහා යම් උත්සාහයක් දරමින් සිටියද, ඉදිරි ගමන කටුකය.

මෙම අර්බුදකාරී තත්ත්වය හුදෙක් ඩිට්වා සුළි කුණාටුව හා මැද පෙරදිග යුද්ධය නිසාම නිර්මාණය වූවක් යැයි කීමට ආණ්ඩුව කැමතිය. එහෙත් සැබෑ කතාව එය නොවේ. සෘජු විදේශ ආයෝජන ප්‍රතික්ෂේප කරමින් ආයෝජකයන් අධෛර්යවත් කිරීම, ප්‍රතිපත්තියක් ලෙස යල්පැනගිය ‘ආර්ථික ජාතිකවාදයේ’ ගිලී යාම, අපනයන ආදායම් වේගවත් කර ගැනීමට අසමත් වීම සහ විදේශ ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක ආදායම් මත පමණක් යැපීම මීට ප්‍රධාන හේතු වී ඇත.

ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණ සිටියද, ණය තිරසරභාවය (Debt Sustainability) පිළිබඳ අවදානම තවමත් ඉහළ මට්ටමක පවතින බව පවසමින්, රජයේ ආර්ථික කළමනාකරණයේ ඇති දුර්වලතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වක්‍රව පෙන්වා දෙයි.

2027 වසරේදී ප්‍රතිව්‍යූහගත කළ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමත් සමග, ශ්‍රී ලංකාවට නැවතත් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළෙන් (International Capital Markets) ණය ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය. එහෙත්, ණය තිරසරභාවයේ අවදානම ඉහළ මට්ටමක පවතින පසුබිමක එසේ කළ නොහැකිය. ආර්ථික ජාතිකවාදයේ සිරවීම නිසා රටට ඩොලර් ගලා එන මාර්ග ද පුළුල් වී නැති අතර, ආනයන වියදම් පියවා ගැනීමේ මට්ටමට අපනයන ආදායම් ද වර්ධනය වී නොමැත.

මේ සියල්ලෙන් එක් කරුණක් පැහැදිලිය. ශ්‍රී ලංකාවට නැවතත් වෙනත් IMF වැඩසටහනකට යාමට සිදු වනු ඇත. එහෙත්, වත්මන් ආණ්ඩුව වැනි අකාර්යක්ෂම සහ නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති පාලනයක් යටතේ තවත් IMF වැඩසටහනක් ක්‍රියාත්මක කළද රටට ගොඩඒමක් නැත. ලංකාව සැබැවින්ම ගොඩඒමට නම්, ධනය උත්පාදනය කරන වේගවත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත යුතුමය.

මේ අතර ජවිපෙට ක්‍රියාත්මක කළ හැකි යැයි ඔවුන් සිතන විකල්පයක් ද තිබේ. එනම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුළුමනින්ම ඉවත් වී, ආනයන දැඩි ලෙස සීමා කර, කියුබාව වැනි අන්ත ජාතිකවාදී හා සීමිත ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්වීමය.

Social Sharing
අවකාශය පුවත්