බාල ප්‍රමිතියේ ගල්අඟුරු ආනයනය වැළැක්වීමට නව රීති මාලාවක්!

ලබන වසර සඳහා සිදුකෙරෙන ගල්අඟුරු ආනයන ක්‍රියාවලියට දැඩි නියාමන ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.

බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු තොග ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට අතිරේක පිරිවිතර සහ තත්ත්ව පාලන කොන්දේසි ඇතුළත් කර ඇති බව ඔහු සඳහන් කර ඇත.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය සඳහා මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා මෙම නව ටෙන්ඩර් කැඳවා ඇති බව අමාත්‍යවරයා “සන්ඩේ ටයිම්ස්” පුවත්පත සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

නව ක්‍රමවේදය යටතේ ගල්අඟුරු සැපයුම්කරු විසින් ඉදිරිපත් කරන වාර්තා මත පමණක් රඳා නොසිට, ගල්අඟුරු පටවන වරායේදීම එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය තහවුරු කරන වාර්තාවක් ශ්‍රී ලංකාව විසින් සෘජුව ලබාගැනීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

එමෙන්ම, නව ටෙන්ඩර් කොන්දේසි අනුව සුදුසුකම් ලැබීම සඳහා සැපයුම්කරුවන් වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් සැපයූ පළපුරුද්දක් පෙන්විය යුතු වේ. දැනට පවතින නීතිරීති අනුව එම අවම සීමාව මෙට්‍රික් ටොන් මිලියන 1කි.

ගල්අඟුරු තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා දළ කැලරි වටිනාකම (Gross Calorific Value – GCV) 5900 සිට 6000 දක්වා ඉහළ නැංවීමට ද තීරණය කර තිබේ. එමඟින් එක් බර ඒකකයකින් නිපදවිය හැකි බලශක්ති ප්‍රමාණය වැඩිවන බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලියාපදිංචි සැපයුම්කරුවන් පමණක් තෝරාගැනීම වෙනුවට විවෘත ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කිරීම හරහා තරඟකාරීත්වය වැඩි කරමින් රටට වඩාත් වාසිදායක මිල ගණන් සහ ගුණාත්මකභාවය සහතික කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර, හදිසි සැපයුම් ලෙස ආනයනය කළ ගල්අඟුරු නැව් තොග පහෙන් එක් තොගයක අළු අන්තර්ගතය (ash content) නියමිත ප්‍රමිතිය ඉක්මවා ඇති බව අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් අදාළ සැපයුම්කරුට දඩ මුදලක් පැනවීමට රජය තීරණය කර ඇත.

තවද, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැව් තොග 18ක් ආනයනය කිරීම හේතුවෙන් රජයට ඇමරිකානු ඩොලර් මිලියන 37ක පමණ පාඩුවක් සිදුව ඇති බව ද අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කර තිබේ. එම පාඩුව අයකර ගැනීම සඳහා වගකිව යුතු සැපයුම්කරුවන්ට දඩ පැනවීමට පියවර ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්