
ඇමරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ප්‍රකාශයට පත්වීමෙන් මාසයකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජෙයිරා නුවර පිහිටි තෙල් ගබඩා පර්යන්තයට ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තෙල් ගබඩා පර්යන්තය ඉලක්ක කරමින් ඉරානයෙන් මිසයිල 15ක් සහ ඩ්‍රෝන 4ක් එල්ල වූ බවත්, එරට ගුවන් ආරක්ෂණ පද්ධතිය මඟින් මිසයිල සහ ඩ්‍රෝන කිහිපයක් ගුවනේදීම විනාශ කිරීමට සමත්වූ බවත් එමිරේට්ස් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. තෙල් ගබඩාවට එල්ල වී ඇත්තේ ඉන් එක් ඩ්‍රෝන ප්‍රහාරයක් බව ද වාර්තා වේ. එමිරේට්ස් රාජ්‍යයේ නැඟෙනහිර කලාපයේ මේ මුහුදුබඩ නගරයේ තෙල් ගබඩාවේ ඩ්‍රෝන ප්‍රහාරයත් සමඟ විශාල ගින්නක් හටගෙන ඇති අතර, එහි සේවය කළ ඉන්දීය ජාතිකයන් තිදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එමිරේට්ස් මාධ්‍ය සඳහන් කර තිබේ.
මේ අතර ඉරාන රජයේ රූපවාහිනි නාළිකාව එරට හමුදා නිලධාරියකු උපුටා දක්වමින් සඳහන් කර ඇත්තේ, ෆුජෙයිරා තෙල් ගබඩා පර්යන්තයට ඉරානය පහර නොදුන් බවය. එමිරේට්ස් රාජ්‍යයේ තෙල් ගබඩාවක් ඉලක්ක කරගැනීමට ඉරානයට කිසිදු සැලසුමක් නොමැති බව ද එරට රූපවාහිනි නාළිකාව වැඩිදුරටත් සඳහන් කර තිබේ. එසේ වුවත් තෙල් ගබඩාවට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරය ඉරානය දෙසින් පැමිණි බව එමිරේට්ස් රාජ්‍යයේ නිලධාරීන් තහවුරු කළ බව වාර්තා වේ.
