15 හැවිරිදි දැරියකගේ ගබ්සාව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දැඩි දෝෂදර්ශනයක්!

අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ.

මෙම නඩුව විභාග කළ විනිසුරු මඬුල්ල අවධාරණය කර ඇත්තේ, කාන්තාවන්ට තම ශරීරය පිළිබඳ තීරණ ගැනීමේ මූලික අයිතිය තහවුරු කළ යුතු අතර, ඒ සඳහා බාධාවක් වන පැරණි නීති වහාම සංශෝධනය කළ යුතු බවයි.

අපයෝජනයට ලක්වූ අවස්ථාවකදී ගබ්සාව සඳහා දැනට පවතින සති 24ක නීතිමය කාල සීමාව අදාළ නොවිය යුතු බවත්, වින්දිත දැරියගේ සහ ඇයගේ පවුලේ තීරණවලට රජය විසින් ගරු කළ යුතු බවත් අධිකරණය පෙන්වා දී ඇත.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය නිරීක්ෂණය කර ඇත්තේ, වින්දිත දැරිය දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බවයි. වින්දිත දරුවා සහ කළලය අතර ඇතිවන ගැටුමකදී, දැරියට ගෞරවාන්විතව ජීවත් වීමේ අවස්ථාව ලබාදීම ප්‍රමුඛ කර සැලකිය යුතු බවද අධිකරණය සඳහන් කර ඇත.

ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා ඇත්තේ, සති 31ක කාලය ගබ්සාවක් සිදු කිරීමට ප්‍රමාද වැඩි කාලයක් වන අතර එමගින් මවගේ ජීවිතයට අවදානමක් ඇති විය හැකි බවයි. දරුවා ප්‍රසූත කර දරුකමට හදා ගැනීමට දීම වඩාත් සුදුසු බවද රජයේ මතය වී තිබේ.

කෙසේ වෙතත්, බලහත්කාරයෙන් දරුවා ප්‍රසූත කිරීමට දැරියට බල කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් සහ ගෞරවාන්විතව ජීවත් වීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.

මෙම තීන්දුවත් සමඟ අපයෝජනයට ලක්වූ වින්දිතයන් සඳහා ඉන්දියාවේ ගබ්සා නීති වඩාත් නම්‍යශීලී සහ මානුෂීය ලෙස සංශෝධනය වීමට ඉඩ ඇති බව විචාරකයින් පෙන්වා දෙති.

Social Sharing
පුවත් විදෙස්