විමර්ෂණයක් අතරතුර කොබෙයිගනේ පොලිසීය තුළ අමානුෂික පහර දීමක්!

කොබෙයිගනේ ප්‍රදේශයේ පෙදරෙරු ශිල්පියෙකු වන ප්‍රදීප් කුමාර මහතාට, පොලිස් විමර්ශනයක් අතරතුර අමානුෂික ලෙස පහරදීම් සිදු කර ඇති බවට වාර්තා වී තිබේ.

පසුගිය දිනක පෙදරෙරු කාර්‍යකට ගොස් සිටි නිවසක සිදුවූ රත්තරන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්, එම නිවෙස් හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒ අනුව සිද්ධිය විභාග කිරීම සඳහා ප්‍රදීප් කුමාර මහතාට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර, නීතියට ගරු කරමින් ඔහු ස්වෙච්ඡාවෙන්ම පොලිසියට පැමිණ ඇත.

එහිදී ඔහුට අසාධාරණ හා අමානුෂික හැසිරීමකට මුහුණ දීමට සිදු වූ බව සඳහන් වේ. ප්‍රශ්න කිරීමේ අරමුණනින් දිගින් දිගටම පහර දී ඇති බවත්, පැය ගණනාවක් රඳවා තබාගෙන නොකළ වරදක් පිළිගන්න ලෙස බලපෑම් කර ඇති බවත් වාර්තා වේ.

තවද, අත් බෝම්බයක් අතට දී ව්‍යාජ නඩුවක් පවරන බවටත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා යටතේ සිරභාරයට ගැනීමේ බිය පෙන්වා ඔහුට බලපෑම් කර ඇති බවටද චෝදනා පවතී.

කෙසේ වෙතත්, එදිනම සොරකමට සම්බන්ධ සැබෑ සැකකරුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාව වන විට ප්‍රදීප් කුමාර මහතා පහරදීම හේතුවෙන් ශාරීරික තුවාල හා මානසික ව්‍යාකූලතා හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණෙන් රෝහල්ගත වී තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු විධිමත් පරීක්ෂණයක් හෝ වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වාර්තා වේ.

මෙවැනි තත්ත්වයන් යටතේ, ප්‍රදීප් කුමාර මහතා සහ ඔහුගේ පවුල යුක්තිය ඉල්ලා සිටින අතර, නිරපරාදියෙකුට සිදු වූ අසාධාරණයට සාධාරණය ඉටු කර දීමට බලධාරීන් කඩිනමින් ක්‍රියා කළ යුතු බව සමාජයේ විවිධ වෘත්තීය කණ්ඩායම් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් අවධාරණය කරති.

Social Sharing
නවතම පුවත්