පොලිස් සේවාව පිළිබඳ මහජන ප්‍රතිචාර ලබා ගැනීමට නව QR කේතයක්!

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවට සපයනු ලබන සේවාවන් පිළිබඳ අදහස්, පැමිණිලි, ප්‍රශංසා සහ යෝජනා සෘජුව ලබා ගැනීම සඳහා නව QR කේත පදනම් වූ ඩිජිටල් ප්‍රතිචාර පද්ධතියක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම පොලිස් ස්ථානවල සේවාවන් සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා “Sri Lanka Police Community Feedback Portal” නමින් නව මාර්ගගත වේදිකාවක් (Online Digital Platform) ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

මෙම නව ක්‍රමවේදය හරහා පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාවට තම අදහස්, පැමිණිලි, ප්‍රශංසා හෝ යෝජනා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, එම තොරතුරු විශ්ලේෂණය කර ජනතා කේන්ද්‍රගත, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු පොලිස් සේවාවක් සැපයීම මෙහි ප්‍රධාන අරමුණ බව පොලිසිය සඳහන් කරයි.

QR කේතය ස්කෑන් කිරීමෙන් පසු පරිශීලකයන්ට “අදහස”, “පැමිණිල්ල”, “ප්‍රශංසාව” හෝ “යෝජනාව” යන විකල්ප අතරින් අදාළ අංශය තෝරා ගැනීමට හැකි අතර, අවශ්‍ය නම් තම පුද්ගලික තොරතුරුද ඇතුළත් කළ හැකිය.

එමෙන්ම, පොලිස් ස්ථානය වෙත පැමිණි හේතුව, අදාළ සිද්ධිය හෝ තම ප්‍රතිචාරයට අදාළ විස්තර ද පද්ධතියට ඇතුළත් කිරීමේ පහසුකම සලසා තිබේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවියේ E-Services අංශය හරහාද Community Feedback Portal වෙත පිවිස මහජනතාවට සිය ප්‍රතිචාර ඉදිරිපත් කළ හැකි බවයි.

මෙම QR කේත පුවරු සියලුම පොලිස් ස්ථානවල මහජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථාන වන පිළිගැනීමේ අංශ, මහජන සේවා කවුළු සහ චෝදනාගාර ආසන්න ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිත බවද වාර්තා වේ.

මෙම QR කේතය භාවිතා කරන ආකාරය පහත පරිදි වේ.

  •    https://feedback.police.lk/ වෙත පිවිසීම
  • අදහස / පැමිණිල්ල / ප්‍රශංසාව / යෝජනාව යන අංශයෙන් විකල්පය තෝරා ගැනිම.
  • අවශ්‍ය නම් පුද්ගලික තොරතුරු ඇතුලත් කල හැකිය. ( Need to add my personal details )
  • පොලිස් ස්ථානය වෙත පැමිණි කාරණය ( Add my visit information )
  • වෙනත් කරුණු ( Add more information )
  • සිද්ධිය හෝ අදහස පිළිබඳ විස්තර ඇතුලත් කිරීම.

තවද, ශ්‍රී ලංකා පොලිසියේ police.lk web අඩවිය වෙත පිවිස එහි E – Services වෙත ගොස් Community Feedback Portal මඟින්ද මහජනතාවට පහසුවෙන් අදහස් හා ප්‍රතිචාර ලබාදීමට හැකියාව ඇත.

මේ අතර, මෙම නව සේවාව පිළිබඳව පොලිස් ස්ථාන වෙත පැමිණෙන ජනතාව දැනුවත් කරන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී එම පහසුකම භාවිත කිරීම සඳහා මඟ පෙන්වන ලෙසත් පොලිස්පතිවරයා විසින් සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

මෙම නව ඩිජිටල් ප්‍රතිචාර පද්ධතිය හරහා පොලිස් සේවාව පිළිබඳ ජනතා අදහස් වඩාත් කාර්යක්ෂමව රැස් කරමින්, ජනතාවගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අපේක්ෂා කරන බවද පොලිසිය පවසයි.

Social Sharing
නවතම පුවත්