
බෝට්ටුවේ මුරකරුගේ වැටුප ගෙවීමට ගිය අයෙක් පොලීසියෙන් රැගෙන ගොස් පසුව බන්ධනාගාර ගත කළ සිදුවීමක් දෙව්නුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ අනුව 2025 වසරේ නොවැම්බර් මස 15වන දින, තම බෝට්ටුවේ මුරකරුගේ වැටුප් මුදල ගෙවීම සඳහා රුපියල් 35,000ක මුදලක් තම පුතුට ලබා දී ඇති බවත්, එම මුදල රැගෙන ඔහු දෙව්නුවර වෙලේගොඩ වරාය අසලට ගොස් සිටිය දී ගන්දර පොලීසිය විසින් මෙලෙසින් අත්අඩංගුවට ගෙන ඇති බව පියා පවසා සිටියි.
බෝට්ටුවේ මුරකරු පැමිණෙන තුරු එම ස්ථානයේ රැඳී සිටි තම පුතු සහ ඒ අසල ත්‍රිරෝද රථයක සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සමඟ ගන්දර පොලිසිය විසින් රැගෙන ගොස් ඇති බවත්, පොලිස් ස්ථානයේදී රැගෙන ගිය අනෙක් පුද්ගලයා පැන ගොස් ඇති බව තම පුතු පැවසූ බවත් ඔහු කියා සිටී.
තම පුතු ගන්දර පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බව දැනගැනීමෙන් පසු පියා, මව සහ සහෝදරිය පොලිස් ස්ථානයට ගොස් ඇති අතර, පුතු රැගෙන යාමට හේතුව විමසූ අවස්ථාවේදී ඇපකරුවෙකු ඉදිරිපත් කළහොත් පසුදින ඔහු නිදහස් කර ගත හැකි බව පොලිසියෙන් දැනුම් දුන් බව එම පියා පවසයි.
ඔහු සඳහන් කරන ආකාරයට පුතු අත්අඩංගුවට ගැනීමට හේතුව එම අවස්ථාවේදී දැනුම් නොදුන් ගන්දර පොලිසිය, පසුදින ඔහු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන වෙළඳාම් කළ බවට චෝදනා කරමින් නඩු පවරා අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, එහිදී තම පුතු බන්ධනාගාරගත වූ බවත් පියා සඳහන් කරයි.
බන්ධනාගාරගතව සිටි තම පුතු 2026 වසරේ මාර්තු 26 වන දින ඇප මත නිදහස් කර තිබුණද, අසත්‍ය චෝදනා මත නඩු පැවරීමෙන් සිදුවූ අසාධාරණය සහ බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් තම පුතුට ඇති වූ මානසික පීඩනය සම්බන්ධයෙන් තමන් දැඩි කම්පාවට පත්ව සිටින බව පියා පවසයි.
එමෙන්ම, තම පුතුට සාධාරණය ඉටු කරන ලෙසත්, අනාගතයේදී මෙවැනි අසාධාරණ ක්‍රියා සිදු නොවන පරිදි අදාළ බලධාරීන් කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විසින් අවශ්‍ය නීතිමය සහයෝගය ලබා දී ඇති අතර ඔබගේත් මානව හිමිකම් කඩ වීමක් හෝ වධහිංසනයට ලක් වූයේ නම් නීතිමය සහයෝගය ලබා ගැනීමට ඔබට ආසන්නයේම පවතින මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් වෙත හෝ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය ඔස්සේ පහත අංක හරහා සම්බන්ධ විය හැක.
