
පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහරදී වධහිංසා පැමිණවූ බවට චෝදනා එල්ල වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන්, එවකට පෑලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබේ.
මෙම අධිචෝදනා ඊයේ (17) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ භාර දී ඇත.
අධිචෝදනා ලැබූ අනෙක් විත්තිකරුවන් වන්නේ එවකට පෑලියගොඩ පොලිස් ස්ථානයේ සේවය කළ ජයකොඩි ආරච්චිගේ සුමිත් කුමාර සෝමරත්න, දිසානායක මුදියන්සේලාගේ නදුන් තාරක මධුරංග අබේකෝන් සහ පාපගොඩ ආරච්චිගේ අතුල විජේසිංහ යන පොලිස් නිලධාරීන්ය.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයකු සහ ජනාධිපති නීතිඥවරයකු වන මෛත්‍රී ගුණරත්න මහතාගේ බාල පුත්‍රයා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාය.
නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය සහ 1994 අංක 22 දරන වධහිංසාවලට හා වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
නඩු වාර්තා අනුව, 2021 පෙබරවාරි 25 වනදා හෝ ඊට ආසන්න දිනකදී, රැඳවුම් නියෝග මත පෑලියගොඩ පොලිස් භාරයේ සිටි ශෂික ජයවීර නමැති පුද්ගලයකුට දහවල් ආහාරය ලබාදීමට මිගාර ගුණරත්න මහතා උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේදී රැඳවුම්කරුගෙන් බලහත්කාරයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ බවත්, එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් මිගාර ගුණරත්න මහතාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදී වධහිංසා පමුණුවා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අදාළ සිද්ධියෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් මිගාර ගුණරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබුණි.
මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජූලි 16 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
