නැති තෙල් මවන හැටි! – ඉකොනොමැට්ටා

ආණ්ඩුව විසින් පෞද්ගලික සමාගම් කිහිපයකට තෙල් ආනයනය කිරීම සඳහා තාවකාලිකව අවසර ලබා දී තිබෙනවා. පැවති තත්ත්වයට සාපේක්ෂව මෙය හොඳ තීරණයක්. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාවට අනුව “ආණ්ඩුවට තෙල් හොයාගෙන ගේන්න බැරිනම් අපිට ගේන්න ඉඩ දෙන්න” කියා ඇතැම් අය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සඳහා සීමිත අවසරයක් ඔවුන්ට ලැබී තිබෙනවා. ඒ එක්කම අනෙක් අතට ඔවුන් නැති තෙල් හොයාගෙන මිල දී ගෙන තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන්නේ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නය යුද්ධය හේතුවෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයක් වුවත්, යුද්ධයේ ප්‍රශ්නයක් නොව රාජ්‍ය ඒකාධිකාරයක් පැවතීම පිළිබඳ ප්‍රශ්නයක් බවයි. නිදහස ඇත්නම්, මිනිස්සු කොහෙන් හෝ තෙල් හොයා ගන්නවා. හැමෝටම බැරි වුනත් ඒ වැඩේ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
තෙල් සංස්ථාවට හොයා ගන්න බැරි තෙල් වෙනත් අය හොයාගෙන තිබෙනවා. ඇත්තටම තිබෙන තෙල් ප්‍රශ්නය සැපයුමක් නැති ප්‍රශ්නය නෙමෙයි. අවශ්‍ය මිල ගෙවන්න සූදානම් නොවීමේ ප්‍රශ්නය සහ කරන්න පුළුවන් අයට අවස්ථාව නැති වීමේ ප්‍රශ්නය. අවශ්‍ය මිල ගෙවන්න සූදානම්නම්, අඩුවක් නැතිව තෙල් තිබෙනවා. ඒ තෙල්, තෙල් සංස්ථාවට හොයා ගන්න බැරිනම් කවුරු හෝ කෙනෙක් හොයා ගන්නවා.

කරන්න තියෙන්නේ තාවකාලිකව ලබා දුන් ඔය අවසරය ස්ථිර අවසරයක් කර ලබා දී තිබෙන නිදහස වඩා පුළුල් කිරීමයි. එවිට තෙල් සැපයුම තව දුරටත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔය විදිහට මුලින් මුලින් හොයාගෙන ගේන තෙල් මිල වැඩි වෙන්න පුළුවන්. නමුත් පසුව, කොහෙන් හෝ තෙල් හොයාගන්න වගේම අඩුවට තෙල් හොයා ගන්නත් අවසර ලබන අය සමත් වෙයි.

තෙල් නැත්නම් ජනාධිපතිට තෙල් මවන්න පුළුවන්ද කියලා කෙනක් අහලා තිබුණා. ඔය දැන් කරලා තියෙන්නේ නැති තෙල් මවන එක තමයි. කෙසේ වුවත්, තවමත් මේ නිදහස ලබා දීමේ වාසිය ලැබෙන්නේ ඩොලර් උපයන සීමිත පිරිසකට පමණයි.

Social Sharing
නවතම පුවත්