සිංහලෙන් නම් ඕනැ පුකක්, බට් ඉංග්ලිෂ්…. – අජිත් පැරකුම් ජයසිංහ

සිංහල භාෂාවේ හෙට දවස මැයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද වැඩසටහනකදී ඇති වූ ගැඹුරු වාග් විද්‍යාත්මක විවාදයක් අධ්‍යයනය කරමින් සිටිමි. ඒ අතර මෙම රූපය දුටුවෙමි. වෙළඳ දැන්වීම් පිටපතක් වන එහි වචන දහය තුළ අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ දෝෂ  පහක් නිරීක්ෂණය කළෙමි. ඒවා මෙසේය:

අපි – අප විය යුතුය

එක්වුන – එක්වුණ විය යුතුය

වට වල – වටවල විය යුතුය

අපිව – අපව විය යුතුය

කලේ – කළේ විය යුතුය

 

එසේ විය යුත්තේ ඇයි? මගේ අදහස නම්, ලිඛිත ව්‍යවහාරයේදී යම් ප්‍රමිතියක් තිබිය යුතු නිසාය.

කතා ව්‍යවහාරයේ මෙවැනි භාවිතාවන් තිබේ. එහෙයින් ඒවා එසේම ලිවීමේ වරදක් තිබේද කියා ප්‍රශ්නයක් නැගිය හැකිය.

එහෙම ලියන්නට පුළුවන. එහෙත්, මගේ අදහස නම්, කතා ව්‍යවහාරයේ ඇති මෙවැනි භාවිතාවන් පවා ලිවීමේදී යම් ප්‍රමිතියක් තිබිය යුතුය. ‘අප එක්වුණ ඒ ඒ වටවල – අපව එකතු කළේ වටවල’ කිව්වාය කියා මේ පණිවුඩයට කිසිදු හානියක් සිදුවන්නේ හෝ එහි කාව්‍යමය, ප්‍රචාරාත්මක ගුණයන්ට හානියක් වන්නේ හෝ නැත.

මෙහි ඇත්තේ නොදන්නාකම, නොසැලකිල්ල හැර අන් යමක් නොවේ. එය වසාගැනීම සඳහා දාර්ශනික සංකල්පවලින් ආවරණය සපයනවා වෙනුවට එය ඉගෙන ගැනීමට හැකිය. එහෙත්, මේවා ලියන ඉහළ වැටුප් ලබන පොරවල් ඒ සඳහා නිහතමානී නැත.

එමෙන්ම, සිංහල භාෂාවේ බොහෝ කාරණා සම්බන්ධයෙන් පිළිගත් ප්‍රමිති නැත. ව්‍යාකරණ ඉගෙනීම ද පහසු නැත. ‍ගුරුවරුන් ප්‍රමිතිගත භාෂාවක් නොදන්නා නිසා ළමා වියේ සිටම වැරදි ව්‍යවහාරයන් උගන්වනු ලැබේ. ඉන් පසු ඒවාට ග්‍රස්ථි වූ උගතුන් නිවැරදි වීමට කැමති නැත.

මූලික වශයෙන් ගත් කල සිංහල භාෂා භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ ‘ඕනැ පුකක් – ප්‍රීති වෙසක්’ ආකල්පයයි.

එහෙත්, ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් එහෙම එකක් නැත. සිංහලෙන් ‘මිනිසුන් ගෙදර යයි’ යනුවෙන් ලියා එම ගලේ පැහැරුම රැඩිකල්කම්වලින් වසාගන්නට උත්සාහ කරන බළලුන් වැනි අය කවදාවත් Them goes home කියා ලියන්නේ නැත.

De-hegemonising Language Standards යනුවෙන් සිය ආචාර්ය උපාධි නිබන්ධනය සම්පාදනය කරන අර්ජුන පරාක්‍රම නම් ශ්‍රී ලාංකික වාග් විද්‍යාඥවරයා ද සිය කෘතියේදී කිසියම් අධිපතිවාදී භාෂා ප්‍රමිතියකට අනුව කටයුතු කරයි.

සිංහල යනු, ලෝකයෙන්ම දෙකෝටියකට අඩු ප්‍රජාවක් භාවිතා කරන, එහෙත්, ඉතා සාරවත් බසකි. පොහොසත් සංස්කෘතියක ප්‍රකාශයකි. එය රැකගැනීම, පෝෂණය කිරීම හා සංරක්ෂණය කිරීම සඳහා මැදිහත්වීම් අවශ්‍යය.

වෙනස් වීම සිදුවන්නේ මෙන්ම එයට ඉඩ දිය යුත්තේ ද යම් පාලනයක් සහිත රාමුවක් තුළය. එවැනි රාමු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින අය සිටිය යුතුය. මම ඒ වෙනුවෙන් පෙනී සිටිමි. ඒ නිසා ප්‍රමිති හදාරමි. අනුගමනය කරන්නට උත්සාහ කරමි.

Social Sharing
නවතම පුවත්