ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ප්‍රමිති වාර්තා පිළිබඳ විශ්වසනීයත්වය ප්‍රශ්න කරමින් RTI අයදුම්පත්

ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ වාර්තා කිහිපයක විශ්වසනීයත්වය පිළිබඳ සැක මතුව ඇති බව සඳහන් කරමින් තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ අයදුම්පත් කිහිපයක් යොමු කර ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Lakvijaya Power Station (LVPS) සහ Lakvijaya Power Plant (LVPP) යන නාම යටතේ ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධ වාර්තා ගණනාවක් නිකුත් කර ඇති බවත්, එම වාර්තා වල අඩුපාඩු සහ වැරදි පවතින බවත් ඔහු සඳහන් කරයි. එම වාර්තා මත පදනම්ව බාහිර පාර්ශවයන් විසින් අදහස් හා විශ්ලේෂණ ඉදිරිපත් කරමින් සිටින බැවින් ඒවායේ නිවැරදිභාවය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම වැදගත් බවද ඔහු අවධාරණය කළේය.

කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් සිදුවන පොදු සාකච්ඡාව Lakvijaya Power Station (LVPS) හෝ Lakvijaya Power Plant (LVPP) යන ලිපි ශීර්ෂ යටතේ නිකුත් කර ඇති වාර්තා මත පදනම්ව සිදුවන බවයි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ආයතනවලින් ලංකා ගල් අඟුරු සමාගමට ලැබී ඇති වාර්තා ද පවතින නමුත් ඒවා මෙතෙක් රජය හෝ වෙනත් පාර්ශවයන් විසින් ප්‍රසිද්ධියට පත් කර නොමැති බවද ඔහු සඳහන් කළේය.

මෙම වාර්තා වල අඩංගු තොරතුරු නිවැරදි නොවන්නේ නම් ගල් අඟුරු තත්ත්වය පිළිබඳ නිවැරදි හා ප්‍රයෝජනවත් තක්සේරුවක් ලබා ගැනීම අපහසු වන බවද ඔහු පැවසීය. ආණ්ඩු පාර්ශවය තම අඩුපාඩු සඟවා ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන අතර විපක්ෂයද මෙම වාර්තා පමණක් පදනම් කරගෙන විධිමත් විමර්ශනයකින් තොරව අදහස් දක්වන බවක් පෙනෙන බව ඔහු කියා සිටියේය.

ගල් අඟුරු ආනයනය සහ මිලදී ගැනීමේ ක්‍රමවේදය ජාතික වැදගත්කමක් ඇති කරුණක් බවද, රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම රාජ්‍යයේ මූලික වගකීමක් වන බැවින් ඒ සඳහා පදනම් වන වාර්තා වල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බවද කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඔහු ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ අනුව, LVPS සහ LVPP යන ආයතන දෙක එකම ආයතනයක්ද නැතිනම් වෙනස් ආයතනද යන්න පැහැදිලි නොවීම, වාර්තා වල දින සහ කාල සටහන් නිවැරදි නොවීම, පර්යේෂණාගාරවල ප්‍රමිතිය සහ පුහුණුව ලත් කාර්ය මණ්ඩලය පිළිබඳ පැහැදිලි තොරතුරු නොමැති වීම සහ වාර්තා වල ISO ප්‍රමිතියක් පවා නොමැති බව වැනි ගැටළු මතුව ඇති බව සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ගල් අඟුරු සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත තොරතුරු ඉල්ලා ඇති බවද ඔහු පැවසීය.

එම අයදුම්පත් මඟින් අදාළ පර්යේෂණාගාරවල තත්ත්වය, ප්‍රමිතිය, එහි සේවය කරන නිලධාරීන්ගේ සුදුසුකම්, වාර්තා වල දත්ත පරස්පරතා සහ එම ආයතනවල අධිකාරි බලය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සාහ කර ඇති බවද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්