
ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කෙරුණු නීතීඥවරියකට කොළඹ මහාධිකරණය විසින් ඊයේ (05) වසර 12 ක සිර දඬුවම් නියම කර තිබේ.
ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සැකසීමේ චෝදනාවකට වරදකරු කරනු ලැබූ නීතීඥවරියකට මේ අයුරින් වසර 12ක සිර දඬුවම් නියම වී ඇත. මෙම නඩුව දීර්ඝ කාලයක් විභාගයට ලක් කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
නීතිපතිවරයා විසින් එම නීතීඥවරියට එරෙහිව ව්‍යාජ ඔප්පු සැකසීම ඇතුළු චෝදනා දෙකක් යටතේ අධි චෝදනා ගොනු කර තිබුණි. 61 වැනි වියේ පසුවන දෙදරු මවක් වන මෙම විත්තිකාරියට එරෙහිව එල්ල වූ චෝදනා දෙකම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බව විනිසුරුවරිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළාය.
ඒ අනුව එක් එක් චෝදනාව සඳහා වසර 6 බැගින් සිර දඬුවම් නියම කරමින්, චෝදනා දෙක සඳහා සමස්ත වශයෙන් වසර 12ක ලිහිල් සිර දඬුවමක් නියම කරන බව අධිකරණය නියෝග කළේය.
එමෙන්ම එම සිර දඬුවම වසර 6ක කාලයක් තුළ ගෙවී යා යුතු බවත් තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
