
සිය ආයතන පෞද්ගලික බූදලයක් ලෙස සලකා ක්රියාකරන සියලු මාධ්ය ආයතනවලට මේ තීන්දුවෙන් දෙන පණිවුඩය වැදගත්.
එම තීන්දුවෙන් කියවෙන්නේ “හිරු” මාධ්ය ජාලය” පොදු අධිකාරියක් බවයි. එනම් පෞද්ගලික අයිතියක් තිබූ පමණින් තමන්ට අවැසි දේ පමණක් ඔවුන්ට කළ නොහැකි බවයි.
මෙම අධිකරණ ක්රියාමාර්ගයට පසුබිම වන්නේ අලවතුගොඩ ප්රදේශයේ ඝාතන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනුනු සැකකරුවෙකුගේ මවක් “හිරු TV” නාලිකාවේ ප්රවෘත්ති වාර්තාවක මූලාශ්ර ඉල්ලා සිටීමේ සිද්ධියක්.
හිරු නාලිකාව එම ඉල්ලීම ප්රතික්ෂේප කර තිබූ අතර අනතුරුව RTI කොමිෂන් සභාව හිරු TV “පොදු අධිකාරියක්” (Public Authority) ලෙස සලකා තොරතුරු හෙළිදරව් කළ යුතු බවට ඔවුන්ට නියෝග කර තිබුණා. ඊට හිරු අවනත නොවීමෙන් පසුවයි කොමිසම අභියාචනාධිකරණයේ නඩු පවරා තිබුණේ.
හිරු TV ප්රකාශ කර තිබුණේ තමන් පෞද්ගලික ව්යාපාරයක් බැවින් RTI නීතිය යටතේ “පොදු අධිකාරිය” යන නිර්වචනයට අයත් නොවන බවයි. ප්රවෘත්ති මූලාශ්ර රහසිගතව (Fiduciary Relationship) ආරක්ෂා කළ යුතු බවත් රජය ලබා දෙන බලපත්රයක් ලැබීමෙන් පමණක් පෞද්ගලික සමාගමක් “පොදු සේවාවක්” නොවන බවත් ඔවුන් සඳහන් කර තිබුණා.
අභියාචනයේදී පැමිණිලිකාරිය ප්රකාශ කර ඇත්තේ හිරු TV ගුවන් තරංග (public airwaves) භාවිත කරන බැවින් පොදු කාර්යභාරයක් ඉටු කරන බවයි. අදාළ සැකකරු සම්බන්ධයෙන් අසත්ය තොරතුරු ප්රචාරය කිරීම මගින් රූපවාහිනී සංස්ථා පනත (Rupawahini Corporation Act) උල්ලංඝනය කරන ඇති බවටත් ඇය කරුණු දක්වා තිබුණා.
අභියාචනා අධිකරණය RTI කොමිෂන් සභාවේ තීරණය තහවුරු කර තිබෙනවා. රජයේ බලපත්රයක් යටතේ පොදු කාර්යය හෝ සේවාවක් ඉටු කරන පෞද්ගලික ආයතනයක් “පොදු අධිකාරියක්” ලෙස සලකන බවයි අධිකරණය සඳහන් කළේ. ගුවන් තරංග පොදු දේපළක් බවද පිළිගැනුනා.
එමෙන්ම ශ්රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ප්රවෘත්ති නිවැරදිව හා අපක්ෂපාතීව විකාශය කිරීමේ වගකීම මාධ්ය ආයතනයකට පැවරෙන බවද අභියාචනාධිකරණය අවධාරණය කර තිබෙනවා.
මීට අදාළ තොරතුරු හෙළිදරව් කිරීමෙන් මාධ්ය නිදහසට හානියක් නොවන අතර, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14A වගන්තිය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් වන බවද අධිකරණය ප්රකාශ කළා.
සටහන මහින්ද රූබසිංහ
