
“ආපදා හානිය ගණනය කරගන්නවත් අපිට තාක්ෂණයක් නෑ” යන ප්‍රකාශය ඇතුළත් සංවාදයක් සමාජ මාධ්‍ය ජාලය තුළ පැතිරෙමින් මහජන අවධානයට ලක්ව ඇත.
එම සංවාදය තුල ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ පද්ධතිය තුළ පවතින තාක්ෂණික දුර්වලතා පෙන්වා දෙන අතර, ගංවතුර හා නායයෑම් වැනි ආපදාන් පසු හානිය නිවැරදිව ගණනය කිරීම සඳහා නවීන ඩිජිටල් ක්‍රමවේද නොමැතිවීම දැඩි ලෙස විවේචනය කර ඇත.
ශ්‍රී ලංකාව නිතර නිතර ස්වභාවික ආපදාන්ට මුහුණ දෙන රටක් ලෙස හැඳින්විය හැක. ගංවතුර, නායයෑම්, සුළි සුළං, වියළි කාලගුණය සහ හදිසි වැසි ව්‍යසන වසරෙන් වසර ජන ජීවිතය හා ආර්ථිකය දැඩි ලෙස පීඩාවට ලක් කරමින් පවතී. එහෙත්, මෙම ආපදාවන්ගෙන් සිදුවන ජීවිත හා දේපළ හානි නිසි ලෙස ගණනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පද්ධතියක් රට තුළ තවමත් සම්පූර්ණ ලෙස ස්ථාපිත වී නොමැති වීම දැඩි ගැටළුවක් බවට පත්ව ඇත.
ආපදායකින් පසු සිදුවන පළමු කටයුතුවලින් එකක් වන්නේ හානිය මැනීමයි. නමුත් වත්මන් ක්‍රමවේදයන් බහුතරයක්ම පදනම් වී ඇත්තේ අතින් පිරවෙන වාර්තා, කඩදාසි ලේඛන සහ අසම්පූර්ණ දත්ත එකතු කිරීම මතය. ඒ හේතුවෙන් නිවැරදි සංඛ්‍යාත දත්ත නොලැබීම, වාර්තා ප්‍රමාද වීම සහ තොරතුරු අතර පරස්පරතා ඇතිවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ.
මෙවැනි දුර්වලතා නිසා ආපදා වලින් බලපෑමට ලක් වූ ජනතාවට සහන හා වන්දි ලැබීම ප්‍රමාද වීම, සමහර අවස්ථාවල අසාධාරණ ලෙස සහන අහිමි වීම ද සිදුවේ. තවද, නිවැරදි දත්ත නොමැතිව දිගුකාලීන ප්‍රතිසාධන හා අවදානම් අවම කිරීමේ සැලසුම් සකස් කිරීම අතිශයින් දුෂ්කර වේ.
ඩිජිටල් යුගයක ජීවත්වන අපට, ආපදා කළමනාකරණය සඳහා GIS තාක්ෂණය, satellite දත්ත, drone නිරීක්ෂණ, real-time data collection සහ centralized digital databases වැනි නවීන ක්‍රමවේද භාවිතයට ගත හැකිව තිබියදීත්, ඒවා ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය මට්ටමින් ගන්නා පියවර තවමත් සීමිතය.
ආපදා කළමනාකරණය යනු හුදෙක් හදිසි අවස්ථාවලට ප්‍රතිචාර දක්වන ක්ෂේත්‍රයක් පමණක් නොව, ජනතාවගේ ජීවිතය, වාසස්ථාන සහ මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීමක් ද වේ. එබැවින්, “ආපදා හානිය ගණනය කරගන්නවත් අපිට තාක්ෂණයක් නෑ” යන ප්‍රකාශය විවේචනයක් ලෙස පමණක් නොව, තාක්ෂණික වශයෙන් ශක්තිමත්, විශ්වාසනීය ආපදා කළමනාකරණ පද්ධතියක් හදිසි අවශ්‍යතාවයක් බව රටට සිහිපත් කරන අනතුරු ඇඟවීමක් ලෙස දැකිය යුතුය.
මේ සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මහතාද අදහස් දැක්වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය එම වීඩියෝව පහතින්…
