
පොලිස් ලොක්කන් අතර විවෘත වලියේදී ඔබේ සහාය කාටද යනුවෙන් හිතවත් Bharatha Prabhâshana Thennakoon ෆේස්බුක් පෝල් එකක් දමා තිබිණි. එහි අද උදෑසන 9.20 වන විට 87% ට ලෙස ප්‍රියන්ත වීරසූරියටත්, 9%ක් ලලිත් පතිනායකටත්, 4%ක් කිත්සිරි ජයල්ටත් කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. මෙයින් පෙනෙන්නේ තවමත් බහුතර මහජනතාව සිටින්නේ දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තියේ මානසිකත්වයේ බවයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ලලිත් පතිනායකට එරෙහිව විමර්ශන ඉල්ලා පොලිස් කොමිසමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කළේය. එලෙස පැමිණිලි කිරීමට හේතුව මාධ්‍යවේදියකුයැයි කියන කෙනකු සහ ලලිත් පතිනායක අතර සිදුවීයැයි කියන පෞද්ගලික කතාබහකට අදාල හඬපටයකි. එය ඒ දෙදෙනාගේ කටහඬ ද යන්න ගැන සහ එය සංස්කරණය කළ හඬපටයක් ද යන්න ගැන මෙතෙක් තහවුරු වී නැත.
මාධ්‍යයක විකාශය වූ එම හඬපටයට සවන්දීමේදී මතුවූ බරපතලම ප්‍රශ්නය වූයේ ජනමාධ්‍යවේදියකු යැයි කියන පුද්ගලයා එය පටිගත කළේ ඇයි ද යන්න ගැනයි. කෙනකුගේ අවසරයක් නැතිව ඔහු හා කරන පෞද්ගලික කතා බහක් පටිගත කිරීම සහ එය තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කිරීම අතිෂයින්ම පහත් තත්ත්වයකි. ඔහු ජනමාධ්‍යවේදියකු නම් එය පිළිගත් ජනමාධ්‍ය ආචාරධර්ම ද උල්ලංඝනය කිරීමකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනත් මාධ්‍ය ප්‍රකාශකයකු හෝ සමග කරන නිල කතාබහක් සහ රජයේ නිලධාරියකු හෝ වෙනත් ඕනෑම කෙනෙකු සමග කරන පෞද්ගලික කතාබහක් අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයකු ජනමාධ්‍ය වෘත්තියට කිසිසේත් සුදුස්සකු නොවන බව මාගේ පෞද්ගලික අදහසයි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් වෙත තොරතුරු ලබා දෙන එකම රාජ්‍ය නිලධාරියා (හඬපටය ඇත්ත නම්) මේ කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොවේ. ඕනෑ තරම් නිලධාරීන් ජනමාධ්‍යවේදීන් සමග පෞද්ගලික කතාබස්වල නිරත වන අතර ඇතැම් අවස්ථාවල තොරතුරු ලබාදීම ද සිදු කරයි. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේ මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ ‘රිපෝටර්‘ ලෙස බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කියනු මා අසා ඇත. ඊට හේතුව එම කාලයේ කැබිනට් මණ්ඩල සිදුවීම් බහුතරයක් ජනමාධ්‍ය වෙත ලබාදී තිබුණේ ඔහු විසින් වීමය. කැබිනට් ඇමැතිවරුන්ගේ සිට සෑම රාජ්‍ය ආයතනයකම ජනමාධ්‍යවේදීන් සමග කතා බහ කරන හෝ තොරතුරු ලබා දෙන නිලධාරීන් සිටිය හැකිය. ඒ අති බහුතරයක් දෙනා (මාධ්‍ය ප්‍රකාශකලා හෝ නිල තත්ත්වයෙන් හැර) තොරතුරු ලබා දෙන්නේ ජනමාධ්‍යවේදියා සමග ඇති පෞද්ගලික හිතවත්කම මත හෝ ඔහු ගැන ඇති විශ්වාසය මත තොරතුරු ලබා දෙන්නාගේ අනන්‍යතාවය හෙළිදරව් නොකරනු ඇතැයි යන විශ්වාසය මතය. එලෙස තොරතුරු ලබා දෙන්නේ කුමන අරමුණකින්දැයි විශ්ලේෂණය කිරීමත්, එම තොරතුරුවල සත්‍යාසත්‍ය බව තහවුරු කර ගැනීමත් ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරයේ කොටසකි. එසේ තිබියදී එලෙස පෞද්ගලිකව කතාබහ කිරීම් සහ තොරතුරු ලබාදීම් පටිගත කිරීම සහ එම හඬපට තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කිරීම සම්පූර්ණයෙන්ම ජනමාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය කිරීමක් මෙන්ම ජනමාධ්‍යවේදියා තමන්ගේ කාර්යභාරය සහ තමන්ගේ වගකීම නිසි පරිදි හඳුනා නොගැනීමේ තත්ත්වයකි.
මේ හඬපටයේ කතා කරන පුද්ගලයා ලලිත් පතිනායක නම්, ලලිත් පතිනායක ලබා දෙන තොරතුරු සත්‍යයක් නම් ජනතාව ගත යුත්තේ පොලිස්පතිගේ පැත්ත නොව ලලිත් පතිනායකගේ පැත්තයි. ඊට හේතුව මෙම අවස්ථාවේදී ජනමාධ්‍යවේදියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ලලිත් පතිනායක වින්දිතයකු බවට පත්වී ඇති නිසාය. එම තොරතුරු සත්‍යද අසත්‍යදවත් නොදැන මෙම අවස්ථාවේදී බොහෝ දෙනකු පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පැත්තේ හිට ගැනීමට හේතුව ලෙස පෙනෙන්නේ පාතාල මර්දනය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ඔහුගේ මැදිහත්වීම විය යුතුය. එම ලබා දෙන තොරතුරු බොරු නම්, එම බොරු තොරතුරු සහිත හඬපටය ප්‍රසිද්ධ කරන අයට එරෙහිව පොලිස්පතිවරයාට සිවිල් අපහාස නඩුවක් දැමීමේ හැකියාව පවතී.
දේශබන්දු තෙන්නකෝන්ගේ යුක්තිය මෙහෙයුම අවස්ථාවේදී සමාජයේ අතිබහුතරයක් දෙනා හිටගත්තේ දේශබන්දුගේ පැත්තේය. දේශබන්දුට එරෙහිවන්නන්ට ද දැඩිව පහරදීම සිදුවිය. යුක්තියේ මෙහෙයුම මුවාවෙන් සිදු කරන්නේ බරපතල රංගනයක් බව පෙන්වීමට උත්සාහ කළ ද එය තේරුම් ගැනීමට තරම් සමහරුන්ට හැකියාවක් නොතිබිණි. ඔවුන්ට තත්ත්වය තේරුම් යන විට ප්‍රමාධවී වැඩිවී තිබිණි. සමහරුන්ට තවම තේරුම් ගොස් නැතිබව ද සඳහන් කළ යුතුය.
දැන් යන මෙහෙයුම් දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම්වලට කිසිසේත් සමාන කළ නොහැකිය. එසේ වුවද ඇතැම් වැටලීම් සහ මෙයෙයුම් හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණක් ද යන තැනට ප්‍රශ්න කරන්නට සිදුවන අවස්ථා කිහිපයක් ම දැක ගත හැකි විය. ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමින් කළ ඇතැම් කටයුතු නිසා ඇත්තටම අපරාධකරුවන්ට නඩු විභාගයකදී වාසියක් අත්වේදැයි සැක කිරීමට හේතු පවතින බැවිනි.
ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම සිටි නිලන්ත ජයවර්ධනටත්, ජ්‍යෙෂ්ඨත්වයෙන් දෙවැනියට සිටි ලලිත් පතිනායකටත් පොලිස්පති ධුරය නොදී (නිලන්ත ජයවර්ධනට පොලිස්පතිකම ලබාදීමට කිසිම හැකියාවක් නැත. පාස්කු සිද්ධියට අදාලව ඔහු මූලික අයිතිවාසිකම් කඩ කළ අයකු ලෙස මේවනවිටත් තීරණය කර තිබේ.) රනිල් වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිකම දුන්නේ දැඩි සමාජ විරෝධය මධ්‍යයේය. එසේම දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුව සිටි වසර හතරකට ආසන්න කාලයේදී ඔහුට කිසිම ස්ථාන මාරුවීමක් නොදී සෙසු සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට (පතිනායකද ඇතුළුව) ස්ථානමාරුවීම් දෙද්දී ලලිත් පතිනායක ඊට විරෝධය පල කළේ නැත. එසේ වුවද ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ පමණක් ඊට විරෝධය පළ කළහ. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වූ පසු ඒ වන විට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටි ලලිත් පතිනායකට පොලිස්පතිකම නොදී ප්‍රියන්ත වීරසූරියට පොලිස්පකම ලබාදීමට කටයුතු කළ අතර ඒ වන විට අපගේ අදහස වූයේ ද ප්‍රියන්ත වීරසූරිය පොලිස්පති ලෙස පත් කළ යුතු බවයි. ප්‍රියන්ත වීරසූරිය මහතා පොලිස්පති ලෙස පත්වීමෙන් පසු ලලිත් පතිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනකු ස්ථාන මාරු කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් අතර දැඩි මතබේදහක් හට ගත් අතර දැඩි චෝදනා එල්ල වූ කිස්තිරි ජයලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නිශ්ක්‍රීයව සිටිද්දී එම මතබේදය තවත් වර්ධනය වූ බව පෙනෙන්නට තිබිණි.

පොලිස්පති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මෙවැනිම තත්ත්වයක් පූජිත් ජයසුන්දර පොලිස්පති ලෙස පත්වූ පසු ද සිදුවිය. එහි අවසාන ප්‍රතිඵලය ගැන රටම දනී. පොලිස්පතිවරයාට අදාල කාරණා ගැන හෝ වෙනත් කාරණාවක් ගැන ජනමාධ්‍යවේදියකු යැයි කියන කෙනකුට ලලිත් පතිනායක මහතා පෞද්ගලික කතාබහක් අතරතුර තොරතුරු ලබාදීම ගැන හඬපටය ගැන පොලිස්පති කළබලවීම සිදු නොකළ යුතුව තිබිණි. එය මෙම ගැටලුව අනවශ්‍ය තත්ත්වයක් කරා දික්ගැස්සෙන තැනට තල්ලුවීමට ඉඩ ඇත. රංජන් සහ ශානි අබේසේකර අතර හඬපට එළියට ආ අවස්ථාවේද ජනමාධ්‍යවලින් එම හඬපවලට ලොකු අවස්ථාවක් දෙද්දී එවකට පොලිස්පතිවරයාගේ ද මැදිහත්වීම මත පොලිස් කොමිසම හදිසියේම 2020 ජනවාරි 07 හෝ ඊට ආසන්න දිනක ශානි අබේසේකරගේ වැඩ තහනම් කළේය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකු කළ පරීක්ෂණයකදී අනාවරණය වූයේ එම හඬපට සංස්කරණය කර ඇති බවයි. එම සිදුවීම මත අඩු තරමේ ශානි අබේසේකරට එරෙහිව මූලික පරීක්ෂණයක්වත් පැවැත්වීමට තරම් හැකියාවක් නොතිබිණි. තවමත් බොහෝ දෙනෙක් එම සංස්කරණය කළ හඬපට කතාව ගැන සමාජ මාධ්‍යවල කතාබහ කළ ද ඔවුන් නොදන්නා කතාව වන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ රජයට අඩු තරමේ ශානිට එරෙහිව මූලික පරීක්ෂණයක්වත් කිරීමට තරම් කරුණු නැතිවූ බවයි. දැන් මෙම හඬපටය උස්සාගෙන ගියහොත් සිදුවන්නේ ද එවැන්නක් විය හැකිය.
මට නම් මෙම සිදුවීමේදී වරද සිදු කර ඇත්තේ ලලිත් පතිනායකවත්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියවත් නොවේ. මෙහි මූලිකවම වරද සිදු කර ඇත්තේ පෞද්ගලික කතාබහක් පටිගත කර තුන්වැනි පාර්ශ්වයක් අතට පත් කළ ජනමාධ්‍යවේදියකු යැයි කියන පුද්ගලයාය. මෙය ඉතාම බරපතල නරක පූර්වාදර්ශයකි. එය මත පිහිටා පොලිස්පතිවරයා කටයුතු කිරීම ඊටත් වඩා වැරදි පූර්වාදර්ශයක් මෙන්ම අනාගතයේ මීටත් වඩා ගැටලුකාරී තත්ත්වයක් ඇතිකර ගැනීමකට මුල පිරීමක් ද විය හැකිය.
තරිඳු ජයවර්ධන FB උපුටා ගන්නා ලදී
