මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ, කළු රාජ්‍ය විනාශ කරනවා – ජනාධිපති

“මේ රටේ රාජ්‍යයන් දෙකක් තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලය මඟින් පිහිටවනු ලැබූ රාජ්‍ය විතරයි. කළු රාජ්‍ය විනාශ කරනවා. මෙතැනින් නතර වෙන්නේ නෑ. මෙය වර්ධනය වෙමින් ඇත්තේ කොතැන ද? දැන් දේශපාලන පක්ෂ ඇතුළට එනවා, මන්ත්‍රීවරු එනවා, සභාපතිවරු එනවා. වෙනම ලැයිස්තු හදලා ඡන්දවලට ඉදිරිපත් වෙලා දේශපාලන යාන්ත්‍රණයක් වෙලා. එක යුගයක දී එය දේශපාලනයේ ආරක්ෂාව. දැන් දේශපාලන ආධිපත්‍ය. ආණ්ඩුවක් පිහිටුවා ගැනීම දක්වා බීජ ව්‍යාප්ත වෙලා. මෙය දිගු කාලයක් පුරා දේශපාලන ආශිර්වාදය මත සිදුවන්නක්.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මේ අදහස් ප්‍රකාශ කළේ, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලට එක්වෙමිනි,

 

“අපිට මත්ද්‍රව්‍ය කිලෝ 800 – 900 හම්බවෙනවා. අපි තේරුම් ගන්න ඕනේ එන ඔක්කෝම අපි අල්ලලා නෑ. අල්ලනවා නම් එන්නේ නෑ. මේ නිසා ඔවුන් දන්නවා මේ අල්ලන ප්‍රමාණය එන ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක්. හැබැයි අත්අඩංගුවට ගන්න ප්‍රමාණයෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ සපයන ප්‍රමාණය මොන තරම් විශාලත්වයක් ඇත්ද කියා. කිලෝ 800 කෝටි 1500කට විකිණෙනවා. ඒ නිසා විශාල මුදල් ප්‍රමාණයක් මේ ව්‍යාපාරය හරහා ගොඩනැගිලා.

ඔවුන් අතර මෙම වෙළෙඳපොළ බෙදාගැනීමට ගැටුම් නිර්මාණය වෙලා. මෑත කාලයේ වෙඩි තැබීම් සියල්ල එක් එක් කණ්ඩායම් අතර සිදුවීම්. තැන තැන වෙඩි තැබීම් සිදුවෙලා තියෙනවා. මේ සියල්ල මත්ද්‍රව්‍ය හා සම්බන්ධ වෙමින් සිදුවෙලා. ඒ තරම් වෙඩි උණ්ඩ, ගිනිඅවි, වෙඩිතැබීමේ ආරක්ෂාව කොහොමද නිර්මාණය වුණේ ? රටක ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟුණු රාජ්‍ය යාන්ත්‍රණයක් තියෙනවා. හැබෑමට සිදුව ඇත්තේ ඔවුන් සතුව ඇති මූල්‍යමය බලය මත රාජ්‍ය යාන්ත්‍රණය ආක්‍රමණය කරලා. ඒ නිසා තවදුරටත් මේ තත්ත්වය සඟවමින් මේ තත්ත්වයට මුහුණදෙන්න බෑ.”

” ඔවුන් අත ගිනිඅවි සැරිසරනවා. ඔවුන් ගිනිඅවි නිෂ්පාදකයෝ නෙමෙයි. බලපත්‍ර සහිත ගිනිඅවි ගැනීමේ බලය තියෙන්නේ රාජ්‍යයකට. රාජ්‍ය සතු ගිනිඅවි ඔවුන් අතට ගියේ කොහොමද ? දැනට වාර්තා වුණා සමහර හමුදා කඳවුරුවලින් ටී 56 ගිනිඅවි 73ක් ඒ අය අතට ගිහින්. එයින් 35ක් අත්අඩංගුවට අරන් 38ක් ඔවුන් අත සැරිසරනවා. රජය සතු ආයුධ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය උණ්ඩ අපි අත්අඩංගුවට ගත්තා. හමුදාවේ ප්‍රධාන කර්නල්වරයෙක් උණ්ඩ සපයලා තියෙනවා. ඒ වෙනුවට බැංකුවට මුදල් ඇවිත් තියෙනවා. රජය සතු ගිනිඅවි පොලීසියේ මහත්තයෙක් විකුණලා පලායනවා. ගිනිඅවි විකුණනවා. සන්නද්ධ කණ්ඩායම් සතු මුදල් බලය අපේ රාජ්‍ය යාන්ත්‍රණය ගිලගැනීමට සමත් වෙලා.”

පොලීසිය, යුද හමුදාව මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට විශාල මෙහෙවරක් සිදුකළ ද අතළොස්සක් පිරිස සිදුකරන මෙම  කටයුතු හේතුවෙන් කළු රාජ්‍යයක් බිහිවෙමින් පවතින බව ද ජනාධිපතිවරයා පැවසීය.

පොලීසියේ ඇතැම් නිලධාරීන් මෙම කටයුතුවලට සම්බන්ධ වුවත් වර්තමාන පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් මත්උවදුර තුරන් කිරීමට දැඩි වෙහෙසක් ගනු ලබන බව ද පැවසු ජනාධිපතිවරයා පොලිස් ඉතිහාසයේ වැඩිම පිරිසක් වැඩතහනමට ලක්ව ඇති යුගය මෙය බව ද කියා සිටියේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් පාතාල නායකයින්ට පාස්පෝට් සකස් කර දී ඇති බව ද පැවසූ ජනාධිපතිවරයා, එවැනි ක්‍රියා හේතුවෙන් රාජ්‍ය විනාශයට පත්ව  ඇතැයි ද කියා සිටියේය.

නිල රාජ්‍ය යාන්ත්‍රණය තරම් ප්‍රබල නොවුණත් ඒ හා සමාන රාජ්‍ය යාන්ත්‍රණයක් පාතාලය විසින් සපුරාගෙන ඇතැයි පැවසු ජනාධිපතිවරයා, කළු යාන්ත්‍රණය විනාශ කළ යුතු යැයි ද පැවසීය.

Social Sharing
නවතම පුවත්