අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහි පරීක්ෂණය අවසන්

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සම්බන්ධව කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ මූලික පරීක්ෂණයක් පිළිබඳව එම කොමිෂන් සභාවේ තීරණය ජනමාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

රංග දිසානායක මහතා විසින් 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තම දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මෙම පරීක්ෂණය සිදුකර ඇත.

ඒ අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක යන අය 2014 වර්ෂයේ දී අවිධිමත් ආකාරයට තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරවීම සිදුකර ඇතැයි කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනාගේ විධානය පරිදි දූෂණ විරෝධී පනතේ 42 (1) වගන්තිය යටතේ මූලික පරීක්ෂණයක් සිදුකරන ලදී.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට විරුද්ධව ලැබුණු පැමිණිල්ලක් වූ බැවින් මෙම පැමිණිල්ල පිළිබඳව ප්‍රමුඛතාවය ලබාදී කඩිනමින් විමර්ශනය කරන ලද අතර, ප්‍රස්තුත කරුණ පිළිබඳව සමාජ මාධ්‍යන්හි පසුගිය දිනවල විශේෂ අවධානය යොමුවී තිබීම හේතුවෙන් අදාළ විමර්ශනයේ ප්‍රගතිය ජනමාධ්‍ය ආයතන වෙත ඉදිරිපත් කරනු ලැබේ.

අදාළ විමර්ශනය තුළ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වාර්තා කැඳවන ලදී. අධිකරණ නිලධාරීන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කිරීම පිළිබඳව අංක SCFR 235/2011 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මත අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සිදුවී ඇති බව නිරීක්ෂණය වී ඇත.

එම වර්ෂයේ මෙම දරුවා පමණක් නොව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහත මාර්ගෝපදේශ මත අධිකරණ නිලධාරීන්ගේ තවත් දරුවන් ද කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ඇති බව ද නිරීක්ෂණය වී ඇත.

ඒ අනුව, ඉහත දරුවා පාසලට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය තුළ ආයතනික ක්‍රම වේදයන්හි අක්‍රමිකතාවයක්, පක්ෂග්‍රාහී හෝ අනීතික ක්‍රියාවක් හෝ දේශපාලන මැදිහත්වීමක් සිදුවී නොමැති බව කොමිෂන් සභාව තීරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්