
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය ජාලා භාවිතය සහ එම සේවාවන්ට ප්‍රවේශය සීමා කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර ඇති බව එරට අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාමර් ප්‍රකාශ කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
යෝජිත නව නීති යටතේ ස්නැප්චැට්, ටික්ටොක්, යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් සහ එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන් වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් සඳහා සීමා කිරීමට නියමිතය.
මෙම නීති මාලාවේ පළමු අදියර 2027 වසරේ වසන්ත සෘතුවේදී බලාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, එය පසුගිය වසරේ ඔස්ට්‍රේලියාව හඳුන්වා දුන් ළමා ආරක්ෂණ නීති ආදර්ශයට ගනිමින් සකස් කෙරෙන බව සඳහන් වේ.
කෙසේ වෙතත්, දරුවන්ට අහිතකර ලෙස සැලකෙන ඇතැම් අන්තර්ජාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ පවතින නීතිවලට වඩා දැඩි සීමාවන් හඳුන්වා දීමට බ්‍රිතාන්‍යය සැලසුම් කර ඇත.
ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් සඳහා සජීවී විකාශන (Live Streaming) නැරඹීම හෝ සිදු කිරීම සහ නන්නාඳුනන පුද්ගලයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනය කිරීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට යෝජනා වී තිබේ.
තවද, වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහාද ආරක්ෂිත සැකසුම් ස්වයංක්‍රීයව සක්‍රීය වන පරිදි නීති සකස් කිරීමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව, රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සහ නිමක් නැතිව අන්තර්ගතයන් පෙන්වන “Infinite Scrolling” ක්‍රමවේදය පාලනය කිරීම පිළිබඳවද බ්‍රිතාන්‍ය රජය අවධානය යොමු කර ඇත.
මෙම වැඩපිළිවෙළ පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාමර් සඳහන් කර ඇත්තේ, දරුවන්ගේ මානසික සෞඛ්‍යයට සහ සමාජ සංවර්ධනයට අහිතකර බලපෑම් ඇති කරන සමාජ මාධ්‍ය භාවිතය පාලනය කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවයි.
සමාජ මාධ්‍ය වේදිකා නිර්මාණය කර ඇත්තේ පරිශීලකයන් දිගු කාලයක් ඒවා තුළ රඳවා තැබීමට වන බැවින්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස මැදිහත් වීමේ වගකීමක් තමන්ට ඇති බවද ඔහු අවධාරණය කර තිබේ.
මෙම යෝජනා ක්‍රියාත්මක වුවහොත්, බාලවයස්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ලොව දැඩිම නීති රෙගුලාසි ක්‍රියාත්මක කරන රටවල් අතරට බ්‍රිතාන්‍යයද එක්වනු ඇත.
