
පැවති රාජපක්ෂ පාලනයේ ප්රජාතන්ත්ර විරෝධී බවත්, නීතියේ ආධිපත්‍යයට එරෙහිව ඔවුන්ගේ ආණ්ඩුකරණ ක්රියාවළිය ඇතුලු මර්දනකාරී තත්ත්වයන් ප්‍රශ්න කරමින්, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය ඇතුලු ප්රජාතන්ත්රීය වටිනාකම් ලංකාව තුළ යළිත් තහවුරු කිරීමේ වැදගත්කම පිළිබද ජනතාව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත මහජන ක්රියාකාරීත්වයක් වූ ‘වීදියේ විරෝධය’ වැඩසටහන රැගෙන අපි, පුරවැසියන් සහ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් 2014 වර්ෂයේ රට පුරා යමින් සිටියෙමු.
එහි එක් පියවරක් ලෙස 2014 දෙසැම්බර් 21 දා ‘වීදියේ විරෝධයේ’ තවත් එක් වැඩසටහනක් සදහා හම්බන්තොටට ගියෙමු.
නමුත් එම සාමකාමී වැඩසටහන ආරම්භ කිරීමටත් පෙර, එවකට රාජපක්ෂලාගේ අත්තනෝමතික පාලනයේ ‘කීකරු බැතිමතුන්’ පිරිසක් විසින් අපට පහර දුන්නෙමු.
එම පහරදීමට සෘජුවම සම්බන්ධ වී සිටියේ එවකට හම්බන්තොට මහ නගර සභාවේ, නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුලු පිරිසක්ය. ඒ නිකංම නොවේ පිස්තෝලයක් ද මානමිනි.

ප්‍රවීන කලාකරුවෙක් වූ ජයතිලක බණ්ඩාරයන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් වූ ප්‍රසංග ප්‍රනාන්දු, පිලිප් දිසානායක, අයුබ් ඛාන් සහ මා ඇතුලු පිරිසක් එම මැර ප්‍රහාරයට ලක් විය. ඒ දරුණු ගනයේ ප්‍රහාරයෙන් බේරී පළා ගොස් මා සහ ප්‍රසංග ඇතුලු පිරිසක් හම්බන්තොට පොලීසියට පැමිණිලි කළෙමු.
අද, 2025 සැප්තැම්බර් 3වනදාය. තවමත් අපි හම්බන්තොට උසාවියට යන්නෙමු.
පහරකෑමට ලක්වූ අප දැන් වින්දිතයන් වී ඇත. හරියටම අවුරුදු 10යි, මාස 8ක්, දින 13ක් ගෙවෙමින් තිබේ.
අද ද අපි උසාවි යන්නෙමු!
එදවස සිට ලංකාව තුළ ආණ්ඩු 3ක් පත් ව ඇති මුත්, යුක්තිය තවමත් දුරස්ථය.
අදද අපි තවමත් උසාවි යන්නෙමු!
ලංකාව තුළ ප්‍රජාත්නත්‍රීය වටිනාකම් වෙනුවෙන් පෙනී සිටීම කොතරම් අභියෝගයක්ද? ( අදද මේ වැඩේට සහය වන රයිට් ටු ලයිෆ් වැනි සංවිධාන නොහිටින්නට මේ අභියෝගය තවත් ගැඹුරු වනු ඇත.)

“වීදියේ විරෝධය” යනු රාජ්‍ය බලයේ අත්තනෝමතිකත්වයට එරෙහි ජනතාවගේ ආත්ම ගරුත්වයේ හඬකි. එය මානව හිමිකම් යනු හුදු රාජ්‍ය ප්රතිපත්තිවල බරපතළකම මැනීමක් නොව, සමාජයක සාමූහික ආත්මයේ—සත්‍යය, යුක්තිය, සහ සාධාරණත්වයෙහි—එක් ප්රකාශනයකි. රාජපක්ෂලාගේ මර්දනකාරී බලය හමුවේ, මෙම විරෝධතාව රාජ්‍යයක බලය පුරවැසියන්ට එරෙහිව යොදවන විට එයට එරෙහිව සටන් කිරීමේ ධෛර්යය සංකේතවත් කළේය. එය සාමූහික ප්රජාතන්ත්රවාදී ක්රියකාරීත්වයකි. ආණ්ඩුවකට තම ජනතාවට එරෙහිව ‘අත්තනෝමතික බලය’ යොදා ගැනීමට හිමිකමක් තිබේද? එසේ නම්, එයට එරෙහිව ජනතාවගේ වගකීම කුමක්ද? “වීදියේ විරෝධය” මෙම ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස, පුරවැසි බලයේ තීරණාත්මක භූමිකාවක් තහවුරු කළේය—එනම්, අත්තනෝමතික බලයට එරෙහිව යුක්තිය, සත්‍යය, සහ ප්රජාතන්ත්රවාදය ඉල්ලා සිටීමයි. ඒ වෙනුවෙන් සාමකාමී සාමූහික වැඩබිමක් මහපොළව මත ක්‍රියාත්මක කිරීමයි.
එය නීතියේ ආධිපත්‍ය යළි ගොඩනැගීම ඇතුලු ප්රජාතන්ත්රීය වටිනාකම් වෙනුවෙන් වූ සංස්කෘතික, දේශපාලනික වැඩබිමකි. මීට මා කිහිපයකට පෙර අධිකරණය විසින් මාගෙන් පළමුවරට සාක්ෂි විමසීමේදී ඒ බව මා අධිකරණය තුළ පවසා සිටියෙමි.
අද ද, උසාවි ගමන තවමත් පවතින විට, එය මතක් කරන්නේ යුක්තිය යනු හුදු නීතිමය තීන්දුවක් නොව, සමාජයක ආත්ම ගරුත්වය, වගවීම, සහ මානව හිමිකම් යළි තහවුරු කිරීමේ ගමනක් බවය. “වීදියේ විරෝධය” ඒ සඳහා අද ඉතිහාසමය ආලෝකයක් සපයයි. මෙම සටන තවමත් අවසන් නැත; එය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ ඉදිරි ගමනට බලවත් ආශ්වාදයක් මෙන්ම අත්දැකීමක්ද වනු ඇත-ඉදිරියටත්….
ඒත් තවමත් අපි උසාවි යන්නෙමු!
ඒ තමයි ‘ශ්‍රී ලංකාව’
– සම්පත් සමරකෝන්
කර්තෘ සටහන
අද (සැප්තැම්බර් 03) පැවති වීදියේ විරෝධය නඩුව සදහා ජයතිලක බණ්ඩාර, සම්පත් සමරකෝන්, අයුබ් කාන් යන අය සහභාගී විය. ප්‍රසංග ප්‍රනාන්දු අසනීප තත්ත්වයක් මත සහභාගී නොවීය. පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතා පෙනී සිටින ලදී. අද දින ද තවත් අළුත් විනිසුවරුවෙකු හමුවේ මෙම නඩුව විභාගයට ගෙන ඇති අතර, නඩුව නැවතත් 2025 සැප්තැම්බර් 24 දිනට කල් තබා තිබේ.
දශකයකට වැඩි කාලයක් තිස්සේ ඇදී යන මෙම නඩුව හේතුවෙන් අසාමාන්‍ය ලෙස වින්දිතයින් වී ඇත්තේ පැමිණිලිකරුවන් වීම නිසා, විත්තියේ ඉල්ලීම මත, පැමිණිලිකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමේ කොන්දෙසිය මත මෙම නඩුව සමතය සදහා මීට වසර පහකට පමණ පෙර පැමිණිලිකරුවන් කැමැත්ත ලබා දී තිබුනි.
නමුත්, චෝදනා පත්‍රයෙහි ගිණි අවි භාවිතා කර ඇති බව සදහන්ව ඇති නිසා මහේස්ත්‍රාත් අධිකරණයට සමත කිරීමේ බලයක් නොමැති වීම හේතුවෙන් නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කර තිබුනි. නීතිපති උපදෙස් ලැබෙන තෙක් පැමිණිලිකරුවන් නැවතත් වසර ගනනාවක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් විය. අවසානයේ මීට නඩු වාර තුනකට පමණ පෙර සිට නැවත නඩු විභාගය ආරම්භ කර තිබුනි. සම්පත් සමරකෝන් මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමද ආරම්භ විය.
නමුත්, අද නව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ වසර දහයක් ඉක්මවා ඇති මෙම නඩුව සමතයක් සදහා සියළු පාර්ශව කැමත්ත පලකර ඇති නිසා මෙම නඩුව සම්බන්ධව පොලීසියේ මතය කුමක්ද යන්න විමසා තිබේ. කෙසේ වුවත් ඒ සදහා උසාවි සාජන්වරයාගේ ඒ සදහා නිසි පිළිතුරක් ලැබී නැත. මහේස්ත්‍රාත්වරයා නැවතත් මෙම නඩුව නීතිපති උපදෙස් සදහා යොමු කරමින් සැප්. 24 දිනට නඩුව කල්තබා තිබේ.
