
යාපනයේ දුපත් කලාපයේ ඇති බවට හෙළි වු තවත් සමුහ මිනි වළවල් සංකිර්ණයක වල දමා ඇති පිරිස් වෙනුවෙන් මුල්ම වතාවට අනුස්මරණ මාලාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. ඉකුත් අගෝස්තු මස 20 වනදා වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් හෙළි කර ඇත්තේ යාපනයේ, මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක පමණක් මළ සිරුරු හැටකට ආසන්න සංඛ්‍යාවක් තිබෙන බවයි.
කයිට්ස්, අරාලි හන්දිය, මන්කුම්බාන් ගණ දෙවි කෝවිල අසල, අල්ලෙයිපිට්ටි සහ මණ්ඩතිව් යන ස්ථාන පහේ වල දමා තිබෙන බවට විශ්වාස කෙරන තිස් පස් වසරකට ඉහත දී අතුරුදහන් වු සිය ඥාතීන් දෙමළ ජනයා මුල්ම වතාවට අගෝස්තු 26 වැනි අගහරුවාදා මලින් පහනින් අනුස්මරණය කිරීමට කටයුතු කළ බවට පළාත් බද වාර්තාකරුවන් සඳහන් කරයි. ඒ අනුව අරාලි හන්දියේ පැවැති අනුස්මරණය පහන් සිළුව දල්වා තිබුනේ අතුරුදහන්ව සිටින සිවසුබ්‍රමනියම් මතියලගන්ගේ මැණියන් වන සිවසුබ්‍රමනියම් මහේෂ්වරී මාතාව විසිනි.
සිරුරු 60 ට අධික ප්‍රමාණයක් පවතින මන්ඩතීව් ළිද සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රී ධරන් 2025 ජුලි මාසයේදී පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කරන මොහොතේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුනේ ඒ සම්බන්ධයෙන් පොලිස් පැමිනිල්ලක්, විශ්වාස කළ හැකි තොරතුරක් හෝ අධිකරණ නියෝගයක් නොමැතිව ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවයි.
ඉකුත් අගෝස්තු මස 20 වැනිදා වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් හෙළි කරන ආකාරයට මන්ඩතීව් වතු ඉඩමේ ළිඳක දමා ඇති සිරුරු පිළිබඳ ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බවයි. තවද ඔහු අවධාරණය කරන ආකාරයට තිස් පස් වසරකට ඉහතදී රජයේ හමුදා විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දී හමුදා විසින් සිය භාරයට ගත් අය අතුරින් 84 දෙනකුට අත් වු ඉරණම සම්බන්ධයෙන් මේ තාක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

“හරියටම අදට අවුරුදු 35 කට ඉස්සර – ඒ කියන්නේ 1990 අටවැනි මාසේ, මේ මාසෙම, 25 වැනිදා හවස් යාමයේ යුද හමුදාව මන්ඩතීව්වල සෝදිසි මෙහෙයුමක් කළා. එහෙ මන්ඩතීවූ, අල්ලෙයිපිට්ටි, මන්කුම්බාන් පලාත්වල හිටපු තරුණයන් සිය ගණනක් අත් අඩංගුවට අරගෙන තියෙනවා. අත් අඩංගුවට ගත්තු අයගෙන් 84 දෙනෙක් මේ වෙනතුරුත් කොහෙද කියලා නෑ, අතුරුදහන් කරලා.”
හමුදාව සිය භාරයට ගත් පිරිස අතුරින් කිහිප දෙනකු නිදහස් කර ගැනීමට හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා කටයුතු කළ බවත් ඔහු එහිදී සදහන් කළේය. “ඒ කාලයේ මොරටුවේ ඉඳලා ආපු සිංහල කාන්තාවක් හිටියා. ඒ සිංහල කාන්තාව හමුදාව එක්ක කතා කරලා ටික දෙනෙක් නිදහස් කරගත්තා. සමහරක් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා නිදහස් කරගත්තා.
ස්වාමිනාදන් පිරකලාදන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා එදින හෙළි කර තිබුනේ හමුදාව සිය භාරයට ගත් අනෙක් අය ඝාතනය කර ළිංවලට දැමු බවයි. “අනික් අයව මරලා ළිංවලට දැම්මා. ඇත්තටම, මන්ඩතීව්වල ළිං තුනක් තිබුණා. සමූහ මිනීවළවල් තුනක් තිබුණු ඒ පලාතේ නැවත පදිංචි කිරීම් පටන් ගත්තට පස්සේ මන්ඩතීව් නැගෙනහිර පළමුවැනි කලාපයේ මුත්තුමාරි අම්මන් කෝවිල ඉස්සරහ තියෙන ළිඳ සුද්ද කරන්න ගියාම එතන අතපය ගැට ගහපු මළ සිරුරු හයක් හම්බවුනා. ඊට පස්සේ 2004 දී දෙවැනි කලාපයේ නැගෙනහිර වීදියේ වතු ඉඩමේ 55ක් 60ක් විතර සිරුරු තවත් එක ළිඳක තියෙනවා. “
ඔහු පවසන ආකාරයට ඒ සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකාරියක් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට දැනුම් දී ඇති බවත් ය. “මේ ගැන ඇහිං දැකපු සාක්කිකාරියක්, අත් අඩංගුවට අරගෙන නිදහස් කරපු එක්කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා. මේ විදියට මලසිරුරු 58 ක් 60ක් ඒ ළිඳේත්, මන්ඩතීව් කෝවිල ඉස්සරහ දැන් RC විද්‍යාලය තියෙන තැන ළිඳේ මලසිරුරු හත අටකුත් තියෙනවා.”
තම දරුවා ඇතුළු 84 දෙනකු මණ්ඩතිව් වලදී අතුරුදහන් කරවීම සහ ඔවුන්ට යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලමින් මණ්ඩතිව් තුන් වැනි කලාපයේ පදිංචි සුසයිදාස් ජේසුරත්නම් ධර්මරානි මාතාව 2025 අප්‍රේල් මස 30 වැනිදා ජනාධිපතිට අනුර කුමාර දිසානායකට ලිපියක් යොමු කර තිබුනි. එම ලිපියේ පිටපතක් වේලනෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ශිවලිංගම් අශෝක් කුමාර් වෙත ඉදිරිපත් කිරීමට වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් ක්‍රියා කළේ සමූහ ඝාතන පිළිබඳව ඔහු කරන හෙළිදරව්ව දැඩිසේ ප්‍රතික්ෂේප කරන ජාතික ජන බලවේග සභිකයන්ට පිළිතුරු වශයෙනි.
“එකම පවුලේ ළමයි තුන්දෙනෙක් අතුරුදහන් වෙච්චි අම්මා කෙනෙක් මන්ඩතීව්වල තවමත් ඉන්නවා. ළමයි තුන්දෙනෙක්. එයා සිද්ධවෙච්චි හැම දෙයක්ම ලියලා තියෙනවා. ඩග්ලස්ව හම්බවෙලා තියෙනවා, ඩෙන්සිල් කොබ්බෑකඩුව හම්බවෙලා තියෙනවා, මහේෂ්වරී වේලායුදන් හම්බවෙලා තියෙනවා. අද වෙනකලුත් හොයා හොයා ඉන්නවා, ළමයි කොහෙද කියලා. සාක්කි නෑ, සාක්කි නෑ කියනවා. එතකොට මේ මොකක්ද? මේ එයා ලිඛිතව දුන්නු එක, සභාපතිතුමනි.”
සිරුරු 60 ට ආසන්න ප්‍රමාණයක් වැළලි එම තිබෙන ස්ථානයේ කැනීම් ආරම්භ කරන ලෙස බලකළ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබුනේ කැනීම් සිදු කිරිම වෙනුවෙන් සිය පුද්ගලික ධනය වැය කිරීමට සුදානම් බවයි. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ස්වාමිනාදන් පිරකලාදන් ඉදිරිපත් කරන සාක්ෂි, අතුරුදහන් වුවන්ට යුක්තිය ඉල්ලමින් අදාල පාර්ශවයන් වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට වේලනෙයි ප්‍රාදේශීය සභාවේ සභාපති ශිවලිංගම් අශෝක් කුමාර් සභාවේ අනුමැතිය ලබා ගත් බවයි.
