තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවා තිබූ 44%ක තීරු බද්ද 20% දක්වා පහළ දැමීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සඳහන් කරයි. තවද ඔහු පවසන ආකාරයට මෙතෙක් පැවති සාකච්ඡාවලට අනුව ඉදිරි වසරේදී තීරු බද්ද 10% දක්වා අඩු කර ගැනීමට අවස්ථාවක් පවතින බවයි.

කෙසේ වෙතත්, බදු පැනවීමක් විශ්ලේෂණය කිරීමේදී සාපේක්ෂ බද්ද හා නිරපේක්ෂ බද්ද වශයෙන් සලකා බැලිය යුතු බව ය.

නිරපේක්ෂ බද්ද යනු, 20%ක බදු පැනවීම හරහා රටට විය හැකි බලපෑම කුමක් ද? යන්න විමසා බැලීම වන බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසූ අතර ඔහු සඳහන් කරන ආකාරයට “ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ ගොඩක් ඒවා ‘price sensitive’ ඒ කියන්නේ, මිලත් එක්ක ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් ඇඟලුම් වගේ දේවල්. මේ බද්ද හරහා අපි අපනයනය කරන භාණ්ඩවල මිලට 20%ක මුදලක් එකතු කරනවා ඇමෙරිකාවේදි. එහෙම වුණා ම, 20%කින් භාණ්ඩයේ මිල ඉහළ යනවා. එහෙම වුණා ම අපේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි නිරපේක්ෂ බද්ද කියන්නේ.”

සාපේක්ෂ බද්ද යනු, යම් රටකට සාපේක්ෂව අසල්වැසි රටවලට සහ තරගකාරී රටවලට පනවා ඇති බද්ද අපට බලපාන ආකාරය යි.

“අපි හිතනවා අපට 20%කින් බදු අඩුවීමක් සිද්ධ වෙලා තියෙන එක ලොකු ජයග්‍රහණයක් කියලා. හැබැයි අපි බැලුවොත් 2025 අප්‍රේල් 05 වෙනි ද දාපු බදුවලදී අපට 44%ක ලොකු බද්දක් පනවල තිබුණ වෙලාවෙ අපේ ලොකු ම තරගකරුවෙක් වුණ බංග්ලාදේශයට 37%ක් බදු පනවල තිබුණා. හැබැයි වියට්නාමයට 46%ක සහ කාම්බෝජියාවට 49%ක බද්දක් පනවල තිබුණ. ඊට පස්සෙ 2025 ජූලි 07 වෙනකොට අපේ බද්ද 30% දක්වා අඩු කර ගත්තා. ඒ වෙලාවෙ ලංකාව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව හොඳ තැනක හිටියා.” “හැබැයි ඊයෙ දවසේ අපට 20%ක් බදු පනවද්දි අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපට ලැබිල තියෙන ගාණ ගැන විමසා බලන්න ඕනෙ. වියට්නාමය සහ බංග්ලාදේශයටත් 20%ක බද්දක් තමයි තියෙන්නෙ. තායිලන්තය, ඇෆඝනිස්ථානය වගේ රටවලට අපට වඩා අඩු අනුපාත ලැබිල තියෙනවා. ඒක නිසා සාපේක්ෂ වශයෙන් අපි විමසා බලන්න ඕනෙ අපට තියෙන වාසි මොනවා ද? කියල. එතනදි අපට වඩා අඩු අනුපාත තියෙන රටවලට ආයෝජකයෝ ඇදී යන එකත්, රට තුළ නිෂ්පාදකයින් අධෛර්යයට පත්වීමත් වෙන්න පුළුවන්.”

කෙසේ වෙතත්, 44%ක් ලෙස පැවති බද්ද 20% දක්වා අඩු කිරීම ශ්‍රී ලංකාවට සහනයක් වන බව මහාචාර්ය අමින්ද මෙත්සිර පෙරේරා පවසයි.

පසුගිය 2023 වසරේ දී ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර සිදුකළ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.97 වෙළෙඳාමට සාපේක්ෂව 20%ක අන්‍යොන්‍ය තීරුබදු හේතුවෙන් ලබන වසරේ දී එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් කරන සමස්ත අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 1.62ත් 1.82ත් අතර අගයක් දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක වෙළෙඳ දත්ත විශ්ලේෂණවලින් ඇස්තමේන්තු කර ඇති අතර කෙසේ වෙතත්, එක්සත් ජනපදය සමඟ 20‍%ක තීරුබදු නොමැහිව 2026 දී වෙළෙඳ ගනුදෙනු වුවහොත් එරට හා ලංකාව අතර මුළු වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.44ක් වනු ඇති බව එම වාර්තාව සඳහන් කරයි.

එසේ ම, ඇඟලුම් සඳහා වන අන්‍යොන්‍ය තීරුබදු හේතුවෙන් ඇතැම් ඇඟලුම් කාණ්ඩවලට අදාළව ගත් කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 174කින් වෙළෙඳපොළ පහත වැටෙනු ඇති අතර “අනෙකුත් කාන්තා යට ඇඳුම්” යන විශාලතම ඇඟලුම් කාණ්ඩයේ වෙළෙඳාමේ වටිනාකම 2026දී ඇමෙරිකානු ඩොලර් මිලියන 100.14 කින් පහත වැටෙන බවත් ඒ අනුව 20%ක් තීරු බදු නොමැතිව ඩොලර් මිලියන 274ක් වන එම ඇඟලුම් කාණ්ඩය බදු පැනවීමට පසුව එන වසරේ මිලියන 174ක් පමණ වන බවත් ඇස්තමේන්තු කර ඇත. පිරිමි යට ඇඳුම්වල අලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 28.67ක් වන බවත් කාන්තා කබාවල අලාභය ඇමරිකානු ඩොලර් මිලියන 8.36ක් වන අතර තවත් කාණ්ඩවලට අදාළව ඩොලර් මිලියන 44ක් අහිමි වන බවත් පෙන්වා දෙයි.

ඇඟලුම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ තරගකරුවන් වන බංග්ලාදේශයේ ඇමෙරිකනු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 104කින් ද වියට්නාමයේ අපනයන ඇමෙරිකානු ඩොලර් මිලියන 184කින්ද වැඩි වනු ඇතැයි මෙම වාර්තාවට අනුව පුරෝකථනය කෙරේ.

මේ අතර අනෙකුත් අපනයන කාණ්ඩයට අදාළවන රබර්, ටයර් සඳහා වෙළෙඳපොළ පහත වැටීම ඇමරිකානු ඩොලර් මිලියන 16.12ක් බවත් රබර් තහඩු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.34ක බලපෑමක් වන බවත් කියයි. මැණික් ගල් අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12.4කින් පහත වැටෙනු ඇති බවත් කුරුඳු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 3.886ක පහත වැටීමක් වන බවත් කියයි.

තීරුබදු නොමැතිව 2026 සඳහා පොල්තෙල් සඳහා ඇස්තමේන්තුගත අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 32.75ක් නමුත් තීරුබදු සමග එය ඇමෙරිකානු ඩොලර් මිලියන 27.18ක් වනු ඇති බැවින් එහි පහත වැටීම ඩොලර් මිලියන 5.5ක් බව පෙන්වා දෙයි. මේ අතර, තේ අපනයන සඳහා ඩොලර් මිලියන 11.3ක බලපෑමක් වන බව ද එම වාර්තාව පෙන්වා දී ඇත.

Social Sharing
අවකාශය නවතම