ඉඩම් වංචා නඩුවකට ඇමති වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අධිකරණ නියෝගයක්

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා අද (ජූලි 25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කළා ය.

විමර්ශනයේදී අනාවරණය කර ගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහට බලය පැවරූ මහා සභා රැස්වීම් වාර්තා, අංක 166, 206 සහ 207 දරන බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන් ම ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මගින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35ක් අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබී ය.

ඒ අනුව, ලබන අගෝස්තු මස 22 වන දින නැවත මෙම නඩුව කැඳවීමට නියමිත ය.

 

‘අධිකරණය නොමග යවමින් සිටින’ බවට චෝදනා

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය නියම කළේ, පෙබරවාරි 21 වන දා ය.

මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය එහිදී කරුණු දැක්වීය.

අධිකරණයේ ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත්වූ බව පවසා සිටිය ද, කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින බවට සඳහන් කර ඇති බවට අධිකරණයේදී අනාවරණය වී තිබිණි.

පෙබරවාරි 21 වන දා අධිකරණයේදී අනාවරණය වූයේ, නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනී යන බව ය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න එහිදී වැඩිදුරටත් පැවසුවේ ය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බව ඔවුන් පවසා තිබේ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසා සිටියේ, ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ දැනට නඩුකරයක් පවතින හෙයින් එම නඩුකරය පාදක කරගෙන මෙහි භාරකාරත්වය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වය මත අපරාධ වරදක් අනාවරණය කර ගැනීමට නොහැකි බැවින් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බව ය.

BBC සිංහල

 

Social Sharing
නවතම පුවත්