ඉදිරියේ දී ඡන්ද නොදැම්මොත් දඩ

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසන ආකාරයට ඉදිරි වසර 3 හා 4 ඇතුළත රට තුළ මැතිවරණයක් නොපවත්වන බවයි. මැතිවරණයකදී රටේ ලියාපදිංචි ජන්දදායකයන්ට ජන්දය භාවිත කිරීම අනිවාර්ය කරමින් ඡන්දය භාවිත නොකරන්නන්ට එරෙහිව දඩයක් නියම කිරීමට ඉදිරියට සැලසුම් කර ඇති බවද ඔහු තවදුරටත් කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ 2026 වසරේ සිට 2029 කාලය සඳහා උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීමට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ශ්ව කණ්ඩායම් සමග දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර මෙරට සෑම මැතිවරණයක් සඳහාම ඉතා විශාල මුදලක් වැයවීම සැලකිල්ලට ගෙන මැතිවරණයක උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි තීරණයක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඉදිරියේදී මැතිවරණ සඳහා තැම්පත් කරන ඇප මුදල් ඉහළ දැමීමටද බලාපොරොත්තු වන බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ,

“අපේ දෙපාර්තමේන්තුවේ දැක්ම, සිහිනය තමයි මේ රටේ සර්වජන ජන්ද බලය සුරැකීම. ඒ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් මේ තියෙන කාලය ප්‍රයෝජනයට අරගෙන ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් සකස් කළ යුතුයි. අප මේ විදිහට ඔබ හමුවෙලා කරන්නේ ඊට අවශ්‍ය අදහස් ලබා ගැනීමයි. ‍‍අපිට මේ රටේ ඉදිරි මැතිවරණ සඳහා නව නීති රීති සකස් කිරීම අවශ්‍යයි. මේ සඳහා මැතිවරණ කොමිසම විදිහට අපි වැඩි බරක් දරනවා. ඒ අනුව මැතිවරණ නීති සකස් කිරීමට සහ වෙනස් කිරීමට තියෙන හොඳම කාලය තමයි මේක. මේ ආණ්ඩුවට තුනෙන් දෙකක පැහැදිලි බලයක් තියෙනවා. ඒ නිසා මේ නීති සම්මත කර ගැනීම පහසුයි. මැතිවරණයක් යනු සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රියාවලියක්. මේ නිසා අනිවාර්යයෙන්ම මැතිවරණ සඳහා නීතිමය ප්‍රතිසංස්කරණ ගෙන ආ යුතුයි. නීතියක් නැතිව මැතිවරණයක් පවත්වන්න බැහැ. අපි මේවනවිට රජයට යෝජනා 42 ක් භාර දීලා තියෙනවා. ඒ සියල්ලම නීතිමය කරුණු.”

Social Sharing
අවකාශය නවතම