
ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් වනවාක් මෙන්ම ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. සංකීර්ණ ප්‍රශ්න වලට සරල පිළිතුරු දෙන්න අමාරුයි. මේ ප්‍රශ්නයටනම් සරල පිළිතුරක් දෙන්නම බැහැ. නමුත් අපි හුදෙක් සාකච්ඡාවක් ආරම්භ කිරීමේ අරමුණින් පමණක්, කාට වුනත් බැලූ බැල්මටම “මෝඩ විග්‍රහයක්” ලෙස පෙනෙන, සරල පැහැදිලි කිරීමක් එක්ක මේ ප්‍රශ්නය දිහා බලමු.
පසුගිය 2024 වර්ෂයේ ඇමරිකාවේ ඒක පුද්ගල දදේනිය 85,912ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් පමණයි. මේ නිර්ණායකය දිහා බැලුවොත්, ඇමරිකානුවෙක් ශ්‍රී ලාංකිකයෙක් මෙන් 19 ගුණයක් ධනවත්. එහෙම වෙලා තියෙන්නේ ඇයි?
පළමුවෙන්ම අපට ඔය වෙනස පෙනෙන්නේ සංසන්දනයක් කරන නිසා. සංසන්දනය කරන්නේ ඇමරිකන් ඩොලර් මත පදනම් වූ නිර්ණායකයක් යොදා ගෙනයි. ඇමරිකානුවෙකුගේ ධනවත්කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට කිසියම් ඇමරිකන් ඩොලර් වටිනාකමක් තිබෙනවා. නමුත් ලාංකිකයෙකුගේ ධනවත් කම මැනිය හැකි බොහොමයක් දේවල් වලට සෘජු ඇමරිකන් ඩොලර් වටිනාකමක් නැහැ. ඒවාට තියෙන්නේ රුපියල් වටිනාකමක්.
ලංකාවේ දදේනිය මනින්නේ රුපියල් වලින්. සංසන්දනය කිරීම සඳහා අප එම අගය ඇමරිකන් ඩොලර් වලට හරවනවා. එය කරන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගෙන. පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ අඩුපාඩු නිවැරදි කෙරෙන ක්‍රය ශක්ති සාම්‍ය විණිමය අනුපාතය කියා එකකුත් තිබෙනවා. නමුත් මෙහිදී අප කතා කරන්න යන්නේ පවත්නා විණිමය අනුපාතය යොදා ගැනීමේ වැරැද්ද ගැන නෙමෙයි. ඒ නිසා අපි පවත්නා නාමික විණිමය අනුපාතය වෙතම අවධානය යොදවමු.
පසුගිය 2024 වසරේ ලංකාවේ ඒක පුද්ගල දදේනිය රුපියල් 1,364,235ක්. මෙම අගය ඇමරිකන් ඩොලර් 4,516ක් වෙන්නේ රුපියල් 302ක් ඇමරිකන් ඩොලරයකට සමාන සේ සැලකූ විටයි. එසේ නොමැතිව, යම් ආකාරයකින් ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 302කට සමාන නොවී රුපියල් 16කට සමාන වීනම්, ලංකාවේ ඒක පුද්ගල ආදායමද ඇමරිකාවේ මට්ටම කිට්ටුවටම ඇවිත්.
දැන් අපිට ලංකාව දුප්පත් ඇයි කියන ප්‍රශ්නය වෙනුවට එහි ව්‍යුත්පන්න ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 16කට සමාන නොවී රුපියල් 302කට සමාන වී තිබෙන්නේ ඇයි?
ඇතැම් රටවල් දුප්පත් වීම සහ තවත් රටවල් ධනවත් වීම සහ විවිධ රටවල මුදල් ඒකක වල සාපේක්ෂ වටිනාකම් අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලකට වඩා ඇමරිකන් ඩොලරයක් වටින්නේ ඇයි?
ශ්‍රී ලංකා රුපියල් වගේම ඇමරිකන් ඩොලර් කියා කියන්නෙත් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකි මුදල් වර්ග. මෙවැනි කිසියම් මුදල් වර්ගයකට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටිනාකමක් තිබෙන බව බොහෝ දෙනෙකු විසින් සාමූහිකව විශ්වාස කරන නිසා. ඒ හැරෙන්න වෙනත් වැදගත් හේතුවක් නැහැ. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකන් ඩොලරය පිළිබඳව එම විශ්වාසය වැඩියි. ඒ නිසා, එහි වටිනාකමද වැඩියි.
ගනුදෙනු සහ හුවමාරු ඉතාම ස්වභාවික දේවල්. සත්තු එක්ක පවා ගනුදෙනු කරන්න පුළුවන්. කෙසෙල් ගෙඩියක් දීම මගින් වඳුරෙක්ව කිසියම් දෙයක් කරන්න පොළඹවා ගන්න පුළුවන්. මස් කෑල්ලක් දී බල්ලෙක්ගෙන් වැඩක් ගන්න පුළුවන්. අඩු වශයෙන් යම් පුහුණුවකින් පසුව සතුන් මේ විදිහේ ගනුදෙනු කරනවා. නමුත් රුපියල් හෝ ඩොලර් දී බල්ලෙක්ගෙන් හෝ වඳුරෙක්ගෙන් වැඩක් ගන්න බැහැ.
කිසියම් හේතුවක් නිසා කුඩා කළ සිටම මිනිස් සමාජයෙන් මුලුමනින්ම දුරස්ථව සිටි පුද්ගලයෙක් හෝ ජන කණ්ඩායමක් හදිසියේ සම්මුඛ වුවහොත් රුපියල් හෝ ඩොලර් දී ඔවුන් සමඟ ගනුදෙනු කළ හැකි වෙයිද? පැහැදිලිවම නොහැකියි. නමුත් කිසියම් ආහාර වර්ගයක් වැනි දෙයක් දී ගනුදෙනුවක් ආරම්භ කරන්න බැරිකමක් නැහැ. මුදල් වලට වටිනාකමක් තිබෙන්නේ අපගේ සාමූහික විශ්වාසය නිසා පමණයි.
ඇතැම් අයගේ අදහස රුපියල් හෝ ඩොලර් වලට සැබෑ වටිනාකමක් නොමැති වුවත් රන් වලට එවැනි වටිනාකමක් ඇති බවයි. රන් වලට තිබෙන්නේත් රුපියල් හෝ ඩොලර් වලට තිබෙන ආකාරයේම වටිනාකමක්. වෙනසක් ඇත්නම් එය ඉතාම සුළු වෙනසක්. 1799දී කොනාඩ් රීඩ්ට හමු වූ රාත්තල් 17ක රත්තරන් කුට්ටිය කාලයක්ම පාවිච්චි කළේ දොර අඩයක් ලෙසයි. ඒ වැඩේට රත්තරන් කුට්ටියක් ඩොලර් නෝට්ටු මිටියකට වඩානම් තරමක් හොඳයි.
රත්තරන් ආභරණ සේ භාවිතා වන බව කෙනෙකුට කියන්න පුළුවන්. ඒකට හේතුවත් රත්තරන් වලට ලොකු වටිනාකමක් ඇති බවට වන පොදු පිළිගැනීම. රත්තරන් පළඳින අය එසේ කරන්නේ තමන්ගේ ධනවත්කම ප්‍රදර්ශනය කරන්නයි. සන්නාම සහිත ඇඳුම් වලට ඉහළ මිලක් ගෙවනවා වගේ දෙයක්. සමහර අය රත්තරන් සේ පෙනෙන ඉමිටේෂන් ආභරණ පළඳින්නේ ඒ නිසා. රත්තරන් වලට තියෙන්නේ සැබෑ වටිනාකමක්නම් කවුරුවත් ඉමිටේෂන් ආභරණ පළඳින්න පෙළඹෙන්නේ නැහැ.
ඉතිහාසයේ සෑහෙන කාලයක් රන් හා රිදී මුදල් ලෙස භාවිතා වුනා. ඒ ඒ කාලයේ ඒ සඳහා වඩා හොඳ විකල්ප නොතිබුණු නිසා. ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග වලින් මේ වෙද්දී ඒ කාර්ය භාරය ඊට වඩා හොඳින් කෙරෙනවා. රන් රිදී වැනි ලෝහ වර්ග සැලකුවත්, ඩොලර් රුපියල් වැනි මුදල් වර්ග සැලකුවත් මේවායේ තිබෙන්නේ සාමූහික විශ්වාසය මත පදනම් වූ සංස්කෘතික වටිනාකමක්.
දැන් ලෝකය පුරාම ඉන්න මිනිස්සු ඇහැට නොපෙනෙන, අතින් අල්ලන බැරි බිට්කොයින් වැනි දේවල් වලටත් වටිනාකමක් තියෙනවා කියලා සාමූහිකව විශ්වාස කරනවා. කිසිදු නෛසර්ගික වටිනාකමක් නොමැති, ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි, ක්‍රිප්ටෝ මුදලක වටිනාකම පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම සහ ඇහැට නොපෙනෙන, ස්පර්ශ කළ නොහැකි දෙවි කෙනෙකු පිළිබඳව හෝ කර්මය වැනි සංකල්පයක් පිළිබඳව සාමූහිකව විශ්වාස කිරීම අතර ලොකු වෙනසක් නැහැ.
අඩු වශයෙන් වසර තුන් දහසක පමණ කාලයක් පුරා වෙළඳාම් හරහා ලෝකයේ රටවල් සම්බන්ධ වී තිබෙනවා. මෙම වෙළඳාම් වලදී ගෙවීම් මාධ්‍යයක් ලෙස රන් හා රිදී යොදා ගැනුනා. ඒ නිසාම එම ලෝහ වර්ග වල වටිනාකම පිළිබඳ සාමූහික විශ්වාසයක් ගොඩ නැගුණා. ලෝකයේ බොහෝ සංස්කෘතීන් මේ සාමූහික විශ්වාසයේ කොටස්කරුවන් බවට පත් වුණා. එහෙත් මේ ජාත්‍යන්තර වෙළඳ ජාලයට සම්බන්ධව නොසිටි සංස්කෘතීන්ද තිබුණා.
කැලිෆෝනියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් රෂ් ඇති වූ දහනවවන සියවසේ මැද භාගය වන තුරුම ලෝකයේ ඇතැම් පෙදෙස් වලින් පොළොව මතුපිට තිබී රත්තරන් හමු වුනා. ඉන් පසුව පොළොව මතුපිට රත්තරන් අවසන් වී රන් රිදී “නිපදවීම” වියදම් අධික කර්මාන්තයක් බවට පත් වුණා. පොළොව මතුපිට තිබී රත්තරන් හමු වෙද්දී එය සිදු වුනේ අහම්බෙන්, වාසනාවට හෝ පිං මහිමය නිසා කියා කියන්න පුළුවන්.
ජාත්‍යන්තර වෙළඳාමට වඩා වැඩියෙන් නිරාවරණය වී සිටි රටවල රන් හා රිදී වල වටිනාකම පිළිබඳ අදහසද කලින්ම පැතිරුණා. අඩු වශයෙන් සමාජයේ ඉහළ ස්ථරය රන් හා රිදී වලින් ගනුදෙනු කළා. ඒ නිසාම, පොළොව මතුපිට තිබුණු රන් හා රිදී කාගේ හෝ අවධානයට යොමු වී මුදල් වුනා. ලංකාවේ පොළොව මතුපිටින් හමු වූ රන් හා රිදී ගැමුණු රජුගේ කාලයේදීම මුදල් වී අවසන් වුනා වෙන්න පුළුවන්.
ස්වදේශිකයින් ජාත්‍යන්තර ගනුදෙනු සමඟ ගැට ගැසී නොසිටි උතුරු ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ මෙවැන්නක් සිදු වුනේ නැහැ. එම කලාප වල මතුපිට රන් ඉතිරිව තිබුණා. මෙහි වාසිය එම රටවලට සංක්‍රමණය වූ යුරෝපීයයන්ට ලැබුණා. එය එම රටවලට ධනවත් වීමටද උදවුවක් වුනා.
රන් හා රිදී ඕනෑම රටකින් අහම්බයෙන් හමු විය හැකි දෙයක්ව තියෙද්දී එය යම් ආකාරයක “දිව්‍යමය” දෙයක්. කවුරු හෝ උත්සාහ කළා කියලා රන් හෝ රිදී නිපදවා ගන්න බැහැ. ඒ වගේ තත්ත්වයක් යටතේ රටකින් රන් හෝ රිදී හමු වෙන්නේ රජුගේ පිං මහිමයෙන්, එහෙමත් නැත්නම් රජු දෙවියන්ට ප්‍රිය වීමෙන්, වැනි ප්‍රවාදයකට සාමූහිකව විශ්වාස කළ හැකි තරමේ වලංගු භාවයක් තිබෙනවා. රටේ කොහේ හෝ තැනකින් අහම්බෙන් රන් හෝ රිදී හමු වෙන එක පැහැදිලි කරන්න ඊට වඩා ගොඩක් හොඳ ප්‍රවාදයක් හදාගන්න අමාරුයි.
මේ හේතුව නිසාම රටක මිනිස්සු හෝ රටක් ධනවත් වෙන එකත් කිසියම් බාහිර හේතුවක් නිසා සිදු වෙන දෙයක් බවත්, එය වෙනස් කර ගැනීමේ හැකියාවක් මිනිසුන්ට නොමැති බවත් පැහැදිලි වෙනවා. කාලයෙන් කාලයට සමහර රටවල් ධනවත් වීම සහ දුප්පත් වීම වෙනස් කළ නොහැකි දෙයක් ලෙස භාර ගන්න වෙනවා. වෙනස් කර ගන්න කළ හැක්කේ රජු දැහැමි වීම හෝ රජු දෙවියන්ට ප්‍රිය වන ලෙස හැසිරීම වැනි සීමිත දේවල් ටිකක් පමණයි. ඒ නිසාම, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් බාහිර දෙයක් වන රන් සැපයුම එක්ක හෝ රිදී සැපයුම එක්ක අනෙකුත් වටිනාකම් ගැට ගහන එක ගැන ලෝකයේ විවිධ සංස්කෘතීන් වල මිනිසුන්ට පහසුවෙන් එකඟ වෙන්න පුළුවන්.
ඔය වගේ ලෝක සම්මතයක් තියෙද්දී ලෝකයේ සමහර රට වලින් හිටිවනම විශාල රන් හෝ රිදී සංචිත හමු වෙනවා. ඒ නිසා, ජාත්‍යන්තර වෙළඳාමේදී එවැනි රටවලට විශේෂ වාසියක් ලැබෙනවා. පොළොවෙන් නිකම්ම වගේ ලැබෙන රන් හෝ රිදී එක්ක වෙනත් වටිනා දේවල් හුවමාරු කර ගැනීම මගින් එවැනි රටවල මිනිසුන්ගේ කෙසේ වෙතත් අඩු වශයෙන් රජ පවුල් වල ජීවන තත්ත්වය ඉහළ නංවා ගන්න පුළුවන්. රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වය අවාසියි. එවැනි රටවල රජු සාපේක්ෂව දුප්පත් කියන්නේ රටත් සාපේක්ෂව දුප්පත් කියන එකයි. ඉතිහාසයේ සෑහෙන කාලයක් රටක දුප්පත්කම හෝ ධනවත්කම කියන්නේ රජුගේ දුප්පත්කම හෝ ධනවත්කම.
රන් හෝ රිදී නැති රටක රජ කෙනෙකුට මේ තත්ත්වයට අභියෝග කරන්න හේතුවක් නැහැ. තමන්ගේ රටෙන් වුනත් රන් හෝ රිදී හමු වීමේ යම් විභවයක් තිබෙනවා. නමුත් එසේ හමු නොවෙන්නේ තමන්ට දෙවියන් ප්‍රිය නැති නිසා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන පවුකාර කමට. වැරැද්ද තමන්ගේමනම් පවතින තත්ත්වය භාර ගන්න වෙනවා.
රන් හා රිදී “නිපදවීම” කර්මාන්තයක් වූ විට මේ තත්ත්වය වෙනස් වෙනවා. මේ වටිනා ලෝහ තව දුරටත් දිව්‍යමය දේවල් වෙන්නේ නැහැ. ඒවා මිනිසුන් විසින් ශ්‍රමය යොදවා නිපදවා ගත යුතු දේවල්. එවිට අර මුල් කතන්දරය අභියෝගයට ලක් වෙනවා. රන් හා රිදී කියා කියන්නෙත් හාල් පොල් වගේ ශ්‍රමය යොදවා නිපදවා ගත හැකි දෙයක්නම්, හාල් පොල් වල නැති අමුතු දෙයක් රන් රිදී වල තියෙන්නේ හේතුවක් නැහැ. වටිනාකම් පිළිබඳ ශ්‍රම න්‍යාය යෝජනා වෙන්නේ ඔය විදිහට රන් රිදී වල තිබෙන වටිනාකමේ දිව්‍යමය ස්වභාවය තව දුරටත් සාමූහිකව විශ්වාස කරන්න බැරි වෙද්දීයි.
මිනිස් චින්තනයේ මේ විදිහේ සුසමාදර්ශී වෙනසක් සිදු වුනාට පස්සේ ලෝකයේ රන් සම්මුතියක් පවතින්න හේතුවකුත් නැහැ. එය අනිවාර්යයෙන්ම බිඳ වැටිය යුතුයි. නමුත් සාමූහික මිනිස් විශ්වාස එක වර වෙනස් නොවන නිසා ඒ සඳහා යම් කාලයක් ගතවෙන්න පුළුවන්.
අවසාන වශයෙන් රන් සම්මත බිඳ වැටී ෆියට් මුදල් නිර්මාණය වීම අහම්බයක් හෝ වැරැද්දක් නෙමෙයි. එවැන්නක් අනිවාර්යයෙන්ම සිදු විය යුතුව තිබුණා. කොයි තරම් විවේචන තිබුණත් ෆියට් මුදල් ක්‍රමය කියන්නේ රන් සම්මතයට වඩා ගොඩක් දියුණු මුදල් ක්‍රමයක්. ෆියට් මුදල් වල වටිනාකම තීරණය කරන දිව්‍යමය බාහිර බලවේගයක් නැහැ. වටිනාකම තීරණය කරන්නේ මිනිස්සු.
රන් සම්මත ක්‍රමය ඒකාධිකාරී ක්‍රමයක්. ඊට සාපේක්ෂව ෆියට් මුදල් ක්‍රමයේදී මුදල් වර්ග අතර තරඟයක් තිබෙනවා. වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගත හැකි මුදල් වර්ගයක වටිනාකම ඉහළ යනවා. එවැනි මුදල් වර්ගයක් භාවිතා කරන රට ධනවත් වෙනවා.
නමුත් සාමූහික විශ්වාසය මත පදනම් වන මුදල් වැනි දෙයක් හා අදාළව ඒකාධිකාරයක් හැදෙන එක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. සියවස් ගණනක් රන් සම්මත ක්‍රමය පැවතුනේ ඒ නිසා. මුදල් කියන්නේ භාණ්ඩයක් නෙමෙයි. සම්මතයක්. අඩි, රාත්තල් හෝ මීටර, ග්‍රෑම් වගේ දෙයක්. ඒ නිසා ලෝකයේම කෙසේ වුවත් කිසියම් ප්‍රදේශයක එකම සම්මතය පවතින එක වඩා කාර්යක්ෂමයි.
කිසියම් රටක් ගත්තොත් බර මනින, දුර මනින සම්මත තිබෙනවා. රටක් ඇතුළේ මෙවැනි සම්මත ගණනාවක් නැත්තේ රාජ්‍ය බලහත්කාරයක් නිසා නෙමෙයි. එක සම්මතයක් භාවිතා කිරීම කාටත් පහසු නිසා. රටක් තුළ විවිධ මුදල් වර්ග භාවිතා කිරීම වෙනුවට එක් මුදල් වර්ගයක් භාවිතා වීම ප්‍රචලිතව තිබෙන්නේත් මේ නිසා. මෙය සීමිත ඒකාධිකාරයක් සේ දැකිය හැකි වුනත්, එය ස්වභාවික ඒකාධිකාරයක්. කිසියම් මුදල් වර්ගයකට කිසියම් භූගෝලීය සීමාවක් තුළ ඒකාධිකාරයක් තිබුණත් ඒ සීමාවෙන් එහා තවත් එවැනිම මුදල් වර්ග තිබෙන නිසා නිරන්තර තරඟයකට මුහුණ දෙන්න වෙනවා. විණිමය අනුපාත වලින් පිළිබිඹු වෙන්නේ රට රටවල මහ බැංකු මේ තරඟය තුළ කොයි තරම් සාර්ථක වී ඇත්ද යන්නයි.
මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය විවේචනය කරන අය බොහෝ විට එසේ කරන්නේ අතීතකාමය සහ වෙනස්වීමට තිබෙන අකැමැත්ත නිසා. අතීතයේ පැවති රන් සම්මත, නිදහස් බැංකු ක්‍රමය වගේ ක්‍රම එක්ක බලද්දී මහ බැංකු ක්‍රමය දියුණු සහ තව දුරටත් දියුණු වෙමින් පවතින ක්‍රමයක්. පැරණි ක්‍රම බිඳ වැටී මහ බැංකු ක්‍රමය ඇති වී තිබෙන්නේ ඒ නිසා.
අනාගතයේදී මහ බැංකු ක්‍රමය බිඳ වැටී රන් සම්මත යුගයේ පැවති ආකාරයේ වෙනත් ලෝක ඒකාධිකාරයක් ඒ වෙනුවට ආදේශ වෙන්න පුළුවන්. එහෙම වෙන්නනම්, මිනිස් ක්‍රියාකාරකම් මගින් වටිනාකම පාලනය නොවන කිසියම් “දිව්‍යමය” දෙයක් ඒ වෙනුවෙන් ආදේශ විය යුතුයි. කෘතීම බුද්ධිය දියුණු වෙද්දී එවැන්නක් වෙන්න පුළුවන්. නමුත් දැනට තිබෙන ලෝක සන්දර්භය තුළ, ඉතිහාසයේ යම් යම් කාල වල පරීක්ෂාවට ලක් වී ප්‍රතික්ෂේප වූ විකල්ප වලට සාපේක්ෂව, මහ බැංකු ක්‍රමය සහ ෆියට් මුදල් ක්‍රමය දියුණු ක්‍රමයක්.
උපුටා ගැනීම ඉකොනොමැට්ටෝ පිටුවෙනි.
