බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළට

 

බන්ධනාගාරවල රැඳවූවන්ගේ ධාරිතාව 300%කින් පමණ ඉහළ ගොස් ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවල සඳහන් වේ.

මේ අතරින් රිමාන්ඩ් බන්ධනාගාර රැඳවූවන්ගේ ධාරිතාව 400%කින් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවලින් පෙන්නුම් කෙරේ. මෙරට රිමාන්ඩ් බන්ධනාගාර 18ක් පවතින අතර එම රැඳවූවන්ගෙන් තදබදය කොළඹ මැගසින් බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, සහ වැලිකඩ බන්ධනාගාර යන බන්ධනාගාර තුළ උග්‍ර තත්වයට පත්ව ඇත. එමෙන්ම මහර, ගාල්ල, බෝගම්බර, වවුනියාව බන්ධනාගාරවල ද රිමාන්ඩ් බන්ධනාගාරවල ද රැඳවූවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාම ද ගැටලුවක් වී ඇත.

ඊයේ දිනය වනවිට බන්ධනාගාර තුළ රැඳී සිටින සංඛ්‍යාව 28,108ක් වන අතර එම බන්ධනාගාර තුළ රැඳී සිටිය හැකි ප්‍රමාණය වන්නේ 10,395කි.

මෙවැනි පසුබිමක බන්ධනාගාර නිලධාරීන් 1789ක පමණ හිඟයක් පවතින බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කරයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අනුමත නිලධාරීන් සංඛ්‍යාව 7872ක් වූවද පසුගිය වසර අවසානය වනවිට බන්ධනාගර දෙපාර්තමේන්තු කාර්‍ය මණ්ඩලය වී ඇත්තේ 6083 කි.

බන්ධනාගාර නිලධාරීන්ගේ පවතින හිඟය හේතුකොටගෙන බන්ධනාගාර සෝදිසි කිරීම්, රැඳවූවන් අධිකරණ කටයතු සඳහා පිටතට රැගෙනයාම ඇතුළු කාර්‍යයන්වලට වර්තමානයවන විට බාධා එල්ල වී ඇති බවට බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසා සිටියි. එතුමා වැඩිදුරටත් පවසා සිටියේ රැඳවියන් පරීක්ෂා කිරීමට ඉදිරියේදී තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා වී ඇති බවයි.

Social Sharing
නවතම පුවත්