රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන්ද?

පසුගියදා මුලතිව් ප්‍රදේශයෙන් මුදවාගත් රෝහින්ග්‍යා සරණාගතයන් සැබෑවටම සරණාගතයන් දැයි හඳුනාගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයතු අමැති ආනන්ද විජේපාල ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වනවිට කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු විමර්ශන කටයතු සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එමෙන්ම තවත් 103 දෙනෙකු රැඳවුම් මධ්‍යස්ථානයක් ලෙස මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද මුලතිව් ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ එම පිරිස යළි මියන්මාරයට යැවීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන කර ඇති ඉල්ලීම පිළිබඳ කළ අදහස් විමසීමකට ප්‍රතිචාර වශයෙනි.

මෙලෙසින් මෙරටේ රඳවා සිටින පිරිස මිනිස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ බවට මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද ඇමැතිවරයා තවදුරටත් සඳහන් කර ඇත. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් රජයට බලපෑම් නොකරන බව ප්‍රකාශ කළ විජේපාල ඇමැතිවරයා, මිනිස් ජාවාරම් දිරිමත් නොකිරීම ඔවුන්ගේ වගකීම බව ද අවධාරණය කර ඇත.

මානව හිමිකම් කොමසාරිස් නිමල් G. පුංචිහේවා පවසන්නේ මතුව ඇති ගැටලුව පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට දිනයේ එනම් හත්වන දා භාරදෙන බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ආගමන විගමන නියෝජිතයන්ගෙන් කොමිසමට 2024 දෙසැම්බර් 31 දින සහතිකයක් ලැබුණු බවයි.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සිටින රැඳවියන් වෙත මානව හිමිකම් කවුන්සිලයේ කණ්ඩායමට ප්‍රවේශ වීමට අවසර දීම ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බව ද පුංචිහේවා මහතා පවසා සිටියි. අමත්‍යවරයාට අනුව, මානව හිමිකම් කොමිසමට වාර්තාව ලැබුණු පසු, ඔවුන්ගේ උතුරේ කාර්යාලවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයන්ට රඳවාගෙන සිටින කණ්ඩායම බැලීමට හැකියාව ඇති බව පෙන්වා දී ඇත.

ඒ අනුව පසුගිය අඟහරුවාදා පැවති රැස්වීමේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වී ඇත්තේ මෙහි රඳවා සිටින පිරිස මිනිස් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ බවටයි. පුංචිහේවා මහතාට පෙන්වා දෙන ආකාරයට අනුව 1996 අංක 21 දරන මානව හිමිකම් කොමිසමේ පනතේ 11(ඈ) වගන්තියට අනුව කොමිසමේ බලතල සහ කාර්යයන් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් නොව ශ්‍රී ලංකාව තුළ රඳවා සිටින ‘ඕනෑම පුද්ගලයකුට’ ව්‍යාප්ත වන බවයි.

ඒ අනුව මුලතිව් ගුවන් හමුදා කඳවුරට ප්‍රවේශ වීමට සහ ළමුන් ඇතුළු සියලුම සරණාගතයන් නිරීක්ෂණය කිරීමට කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිත බලය ඇති බවට තවදුරටත් පෙන්වා දෙයි.

Social Sharing
නවතම පුවත්