රැකියා ඉල්ලමින් රජයට බලකරන උපාධිදාරීන්ට ආදර්ශයක් වූ අග්බෝපුර තරුණයා.             

agriculture in sri lanka

කිසිවෙකුටත් අත නොපා තම උත්සාහයෙන් ජීවිතය ගොඩ ගැනීමට වෙහෙසෙන කන්තලේ අග්බෝපුර අජිත් කුමාර ( 42) නම් කිරි ගොවියා කාටත් ආදර්ශයක් වන තරුණයෙකි. ඔහු සාමාන්‍ය පෙලෙන් පාසල අතහැර තම පියාගේ හරකුන් දහ දෙනෙකුත් රැගෙන වයස අවුරුදු 18 න් කන්තලේ දිවුල් කැලයට වදින්නේ අනාගතය කෙසේ හෝ  තමා  විසින්ම ගොඩ නගා ගන්නවා යැයි දැඩි අධිෂ්ඨානය පෙරදැරි කරගෙනය.

agriculture in sri lanka

අජිත් කුමාර මහතා

එම අධිෂ්ඨානය එලෙසම මල් ඵල ගනිමින් අද ඔහු ධනවතෙකු බවට පත්ව ඇත්තෙ ඔහුගේම අදහස් ක්‍රියාවට නංවම්නි. වසා දමා ඇති සීනිකම්හල මැදින් ගමන් ගන්නා  මාර්ගය අවසන් වන්නෙ මේ දිවුල්කැලය නමින් හඳුන්වන මහ වනයකිනි. අලි කොටි වලසුන් ගැවසෙන මෙම කැලයේ කින්නියා තඹලගමුව,මූතූර්, වාන් ඇල යන ගම්මාන වල කිරි ගොවීන් ගේ ගවයින් 12000 ක් පමණ නිදැල්ලේ තණ කමින් ගැවසෙන ප්‍රදේශයකි. මෙහි අජිත් ගේ ගවයින් ද සිටින අතර අජිත් යනු  අළුත් විධියට හිතන පුද්ගලයෙක් බැවින් ඔහුට උවමනා වූයේ ගව පට්ටිය වැඩිකරගෙන නව මාර්ගයකට පිවිසීමටය.

සීනි කම්හල භූමියේ විශා ලම වැව අසල නිසල පරිසරයක අජිත් තම ගව පට්ටිය ට නවාතැන සකස් කර ගන්නාවිට මී ගවයින් 300 කට ආසන්න ප්‍රමාණයකින් ඔහුගේ ගව පට්ටිය වර්ධනය වී තිබුණි. මේ ගවපට්ටියේ මීගව දෙනුන් ගෙන් අජිත් දිනකට කිරි ලීටර් 300 කට ආසන්න ප්‍රමාණයක් ලබා ගන්නා බව අජිත් පැවසූයේ මහත් අභිමානයෙනි. දිනෙන් දින නව තාක්ෂණය සොයමින් යන අජිත්ට ඉවතට යන ගව ගාලේ ගොම ප්‍රයෝජනයට ගනිම්න් බයෝගෑස් නිපදවා ගැනීමට අවශ්‍ය තාක්ෂණය සොයා යමින් බයෝ ගෑස් ක්‍රමවේදයෙන් ගව ගාලට විදුලිය සපයා ගන්නේ ඉවුම් පිහුම් කටයුතුද එයින්ම කර ගනිමිනි.

බයෝ ගෑස්
බයෝ ගෑස්

එතැන් සිට ගාලේ සියළුම කටයුතු සිදුකර ගන්නේ බයෝගෑස් මගින් ගන්නා විදුලියෙනි. ඒ වගේම ගාලේ ගොම අවට  ගොවිතැන් කටයුතුවල  යෙදෙන ගොවීන් ට ලබාදීමෙන් ඔවුන් ගේ ගොවිතැන් කටයුතුද සර්ථක කර ගැනීමට සහෝගයක් ලබාදෙයි.

මේ අතර ඔහු එම ඉඩමේ එක් පැත්තක නොයෙකුත් එළවළු බෝගවර්ග වගා කර එයිනුත් සුළු ආදායමක් ලබා ගනී. මේ අතරට එළු පට්ටියක් ද කරගෙන යන අතර එයිනුත් ආදායම වැඩිකර ගන්නා ඔහු කීප දෙනෙකුටම හදා ලොකු කර ගැනීමට නොමිලේ එළුවන් ලබා දී තිබුණත් ඒ කිසිවෙක් එම පරිත්‍යාගයන් ගෙන් ඵල ප්‍රයෝජනයක් ගෙන නොමැති බැවින් පරිත්‍යාග කිරීම නවතා දමා ඇත. එළුවන් 300 ක් පමණ මේ වනවිට ඔහුගේ ගව මඩුවේ  වර්ධනය වී සිටින අතර එළු කිරි ද වෙළඳපොලට සපයනු ලබයි.

එළු පට්ටිය

එළු පට්ටිය

මේ අතර වැසිකාලයට සතුන් කැලයට යැවීම අපහසු කටයුත්තක් බැවින් ඒ කාලයට ප්‍රයෝජනයට ගැනීම සඳහා අක්කර 1 1/2 ක භූමියක හොඳම වර්ගයේ තණකොල වර්ගයක් වන Co 3 , Co 4 , පැචියෝ  වැනි තණකොල වර්ගය වගාවක් ද ඔහු විසින් ආරම්භ කර ඇත. මෙම තණකොළ තම දෑතින්ම කපාගන්නා අජිත් ඒවා කැබලි කිරීමට ඔහු විසින්ම සදා ගන්නා ලද කැබලි කරන යන්ත්‍රයක් උපකාර කරගනිමින් පැකට් කර තබා වැසි කාලයට ගවයන් ගේ ප්‍රයෝජනයට ගනී.

කාලයක් මෙසේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරමින් එම මාර්ගයට පිවිසි අජිත්ට මෙන්ම අනෙක් ගොවියන්ටත් අවාසනාවන්ත කාලයක් උදාවන්නේ නොසිතූ ලෙසයි. සීනි කම්හලට අයත් අක්කර 22000 ක භූමි භාගය තුල කැලෑබද පෙදෙසක අක්කර  4 ක පමණ ප්‍රදෙශයක ගවයින් නිදැල්ලේ තණ උලාකමින් සැරිසරමින් සිටින කාලය අවසන් කරමින් සීනි කම්හල් භූමිය ගොවිතැන් කටයුතු වලට බෙදා වෙන්කිරීමට ගන්නාලද තීරණයෙන් සියල්ල කණපිට පෙරලිනි.

ඒ සිදුවීම් පෙල අජිත් විස්තර කලේ මෙසේයි “සීනි කම්හල් භූමියේ අක්කර 200 , 300, 100 හිතවතුන් අතර මුං, උඳු, වී වගාවන් සඳහා වෙන්කර දීමෙන් පසු ගවයින්ට වෙන්කර දී ඇති කොටස සතුන්ට උලා කැමට කිසිවක් නැති මහ කැලයක්. රූස්ස ගස් යට තණකොළ. වැවෙන්නේ නෑ.

අනික පොඩි ඉඩක්.  මාස් කන්නයට ඒ ඉඩම් වල වගාකලාම අපේ ගවයින්ට කොහෙත්ම ඉඩක් නෑ. එවුන් බඩ ගින්නේ. වැරදිලාවත් වැටක් කඩාගෙන ගොයමට පැන්නොත් 25000 ක් දඩ. පොලීසියට ගියාමත් ඒ අය ගන්නේ ගොවියගෙ පැත්ත. උඹලගෙ හරක් බලා ගන්න දන්නෙ නැද්ද අහනවා.හරක් කාරයො කියනවා අපිව තුට්ටු දෙකට දානවා. කන්තලේ මීකිරි මුළු රටේම ප්‍රසිද්ධයි. ඒ නම පවතින්නේ මේ අපි නිසයි. නමුත් තාම අපේ වටිනාකම කිසි කෙනෙකුට නොතේරෙන එක හරිම කණගාටුවක්.

එළු පට්ටිය

එළු පට්ටිය

මගේ එළු පට්ටියක් හිටියා 200 ක විතර. කෑම අහේනියත් එක්ක එයාලා බලාගන්න හරි අමාරු වුණා. කණගාටුවෙන් වුණත් මට උන් විකුණන්න වුණා. ලක්ෂ 6 කට ගත්තෙ. ලක්ෂ 60 කට වික්කා.

අපිට කවුරුහරි උදව් කරන්න ඉන්නවානම් මගේ ලඟ අළුත් අදහස් ගොඩක් තියෙනවා. මම මාස 6 කට ගොම ට්‍රැක්ටර් 400 ක් අයින් කරනවා . කොම්පෝස් පොහොර වලට ඕන කරන සැල්වීනියා මෙහේ වැව් වල තියෙනවා. ඒ එක අදහසක්. අපි ගන්න කිරිවලින් සධාරණ ගානකට කිරි මිළදී අරගෙන මෙහේ පාසල් දරුවන්ට හොඳ පිරිසිදු කිරි වීදුරුවක් දෙන්න සැළසුම් කරන්න පුළුවන්. ඔය දෙන කෑම වේලට වැඩිය මේක ගුණ දායකයි. කන්තලේ ළමයි කොහොමත් බත් මැල්ලුම් කනවා.

ඊලඟට මගේ හොඳ තාක්ෂණික දැනුමක් තියෙන යාළුවෙක් ඉන්නවා ධම්මික කියලා. අපි දෙන්නා මේ දවස් වල සාකච්ඡා කරමින් ඉන්නේ LP ගෑස් වගේ බයෝ ගෑස් සිලින්ඩර් වලට පුරවන ක්‍රමයක් ගැන. එහෙම වුණොත් කන්තලේ නෝනලාගේ සල්ලි මල්ලට පොඩි වාසියක් වේවි.

පොහොර
පොහොර

මේ කොහොම වෙතත් මේවා ක්‍රියාත්මක කරන්න නම් අපේ බලධාරින් මේ වගේ වැඩ වලට අත හිත දෙන්නන් විය යුතුයි. මගේ පට්ටියේ කිරි ගන්න මී වැස්සියන් 35 ක් විතර ඉන්නවා. මම එයාලගෙන් දවසට කිරි ලීටර් 150 ක් විතර ගන්නවා. ඉස්සර නම් ඊට වැඩිය ගන්නවා. දැන් කෑම අඩුවුණ නිසා කිරි නෑ. ගොවීන්ටයි කියලා බෙදලා දුන්න සමහර ඉඩම් අක්කර 100, 200 ය නිකන්ම තියෙනවා. සුද්ධකලා වැටක් ගැහුවා ගියා. අපිට මේ වගේ බිමක් දුන්න නම් මගේ හරකුන්ට අවශ්‍ය කරන තණකොල ටික වවාගන්නවා. ප්‍රයෝජනයක් ගන්න මිනිහෙකුට ඕන කවුරුහරි උදව්ක් කරන්න. මම වැහි කාලෙටයි මාස් කන්න වගාකරන කොටයි ගවයන් ගාල් කර ගන්නවා. ඒ වෙනකොට මේ තියෙන තණකොල මදි. ඒ නිසා මට ගවයන් 50 ක් විතර විකුණන්න වෙනවා. මගේ ගොවිපොල තව දියුණු කර ගන්න උදව් කරනවානම් බොහෝ දෙනෙකුට මෙතන රැකියාව තියෙනවා. දැනටත් මී කිරි නිසා බොහෝ පවුල් තම ජීවිකාව සරිකර ගන්නවා.

කිරි
කිරි

අජිත් ගේ ගොවිපොල අසල ගවයන් රකින තවත් ගොවියෙකි සම්පත්. ඔහු නැගෙනහිර පලාතේ ආණ්ඩුකාර වරුන් 4 දෙනෙකු යටතේ රියදුරෙකු ලෙස සේවය කර ඉන් ඉවත්වී අජිත් හා එක්ව ගව ගොවිපොලට උදව් කරන්නට ඉදිරිපත්වී සිටී. ඔහු අප හා කියා සිටියේ මෙසේයි. ” අජිත් කියන්නේ හරිම අමුතු කෙනෙක්. එයා තනිවම තමයි මේ තරම් දුරක් ආවේ. එයාට කවුරුහරි තල්ලුවක් දෙනවා නම් මේක පු‍ංචි අඹේවෙලක්. දැනටත් බොහෝ දෙනෙක් කියන්නේ පුංචි අඹේවෙල කියල තමයි. එයාට මෙතන ගවයින්ට අවශ්‍ය තණකොල වවා ගැනීමට ඉඩකඩ අඩුකම ලොකු ප්‍රශ්ණයක්. බලධාරින් උදව් කරන්න ඕන මේ වගේ අයටයි.”

සම්පත් මහතා

සම්පත් මහතා

අජිත් ගේ ගවපට්ටියේ ගවයන්ට ප්‍රතිකාර කරන කන්තලේ පශු වෛද්‍ය කාර්‍යාලයේ සේවයකර විශ්‍රාම ගොස් සිටින එස්.එම් හීංබණ්ඩා මහතා අජිත් පිළිබඳව මෙසේ කීවේය. ” අජිත් ඔහුගේ සතුන්ට බොහෝ කරුණාව දක්වනවා. හැම සතාටම නමක් දාලා කිරිගන්න වෙලාවට ඒ නම කිව්වාම එයා එනවා. තවත් මම දැක්ක හොඳම ලක්ෂණය තමා අජිත් බාල දේවල් පසුපස යන කෙනෙක් නෙවෙයි. හරකෙක් ගෙනාවත් කෑමක් තේරුවත් හොඳම වර්ගයෙන් තමා ගන්නෙ. ඒක ඉතා හොඳ ලක්ෂණයක්. සතෙක් ලෙඩ වුණොත් බල බල ඉන්නෙ නෑ. ඉක්මණින්ම ප්‍රතිකාර කරණවා. කවුරුන් හෝ උදව් කරනවානම් ඉතාමත්ම හොඳ නවීන අදහස් තියෙන කෙනෙක්.”

ගව පට්ටිය

වසර ගන්නාවක සිට කිරි මුදවීමේ යෙදී සිටි කන්තලේ 85 හන්දියේ බන්දුල ඔහුගේ අදහස් මෙසේ දිගහැරියේ ය.” මම 2004 ඉඳලාම කිරි මුදවනවා. ඉස්සර මම කිරිමුට්ටි 200 ක් විතර දානවා. ඒක දැන් 25 ට බැහැලා. වැහි කාලෙට ඊටත් අඩුයි. ඒකට ප්‍රධානම හේතුව ගවයින්ගේ ආහාර හිගකම. වගාවට ඉඩම් බෙදලා හරකුන්ට කෑම කන්න තණ බිමක් නෑ. අඩුම තරමේ ඒ මනුස්සයාට තණකොල ටිකක් වවා ගන්න ඉඩක් වත් දෙනවා නම් ලොකු දෙයක්. මෙහෙම ගියොත් කන්තලේ කිරි නම නැතිවෙලාම යයි. කන්තලේ කිව්වම කාටත් මතක් වෙන කිරි නිපදවන්නන් ගේ කඳුළු කතාව තමයි මේ.

පුංචි අඹේවෙල නමින් හඳුන්වන අජිත් ගේ ගොවිපොලේ මෙවර මාස් කන්නයටද හරකුන් 50 ක් පමණ විකිණීමට සිදුවන බව අජිත් අප හා කීවේ කඳුළු පිරි දෙනෙතිනි. රටේ ආර්ථිකයට උර දෙන, ස්වෝත්සාහයක් නැගිටීමට වෙර දරන මෙවන් තරුණයන්ට අත දීමට අප රටේ පාලකයින් විශාල අකමැත්තක් දක්වනවා.

එයින් කලකිරෙන තරුණයින් ඔවුන් ගොඩනැගූ හීන ඔවුන් විසින්ම  මරා දමා කුලීහේවායින් ලෙස රට හැරගොස් අනේකවිධ දුක් ගැහැට ව්ඳ එහිම මියයන්නේ මොනතරම් අසරණයින් ලෙස දැයි විදේශ ශ්‍රමිකයන් ගේ ඩොලර් ප්‍රමාණය ගනන් කරණ බලධාරින්ට තෙරෙන්නේ  කවදා දැයි ඔවුන් අපෙන් විමසයි.

සුමිත්‍රා කුමාරිහාමි 

Social Sharing
අවකාශය නවතම විශේෂාංග