හලාවත ආරච්චිකට්ටුව පොලිසිය විජයකටුපොත ගම්මානයේ දරුවන් තිදෙනකුට අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ. විජයකටුපොත ගම්මානයේ සිදුවූ හොරකමක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මේ දරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව දින කීපයක් රඳවා තබාගෙන අමානුෂිකව පහර දී තිබේ. මීට අමතරව මේ දරුවන් නිරුවත් කර වීඩියෝ කර ඇති බවට ද වාර්තා වේ. මේ පිළිබඳව නීතිඥ උපදෙස් ලබා ගැනීමෙන් පසු මේ දරුවන්ගේ මව්පියන් ළමාරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකින් අනතුරුව ඒ පිළිබඳව හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව ආරච්චිකට්ටුව පොලිසිය මේ දරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
මේ දරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව මෙහිදී නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා දැනුවත් කර ඇත. ඒ අනුව දරුවනට ඇප ලැබී ඇති අතර ඉන් පසු හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කිරීමටද කටයුතු කර තිබේ. ඉන් අනතුරුව මේ දරුවන් හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් පෙරේදා (12) පෙරවරු 11ට හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේදී විශේෂ පරීක්ෂණයක් කිරීමට නියමිතව තිබුණත් එය එදින නොපැවැත්වුණු බව මේ දරුවන්ගේ මව්පියෝ පැවසුහ.මේ දරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය 07 වැනි දින පෙරවරුවේයි. හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ 09 වැනි දින පස්වරුවේයි .
මේ දරුවන් වයස අවුරුදු 14 හා 16 යන වයස්වල පසුවන්නෝ වෙති.
මේ සම්බන්ධයෙන් සාධාරණයක් කරන ලෙස මව්පියෝ වගකිව යුතු ආයතනවලින් ඉල්ලා සිටිති.
www.dinamina.lk
ප්‍රසාද් පුර්ණමාල් – පුත්තලම